හොරට ක‍්‍රීඩා කිරීම වැළැක්වීමට ජාතික හැදුනුම්පත අනිවාර්යයි ?


මෙවර අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී සිදුවිය හැකි අක‍්‍රමිකතා වැලැක්වීමේ පියවරක් ලෙස අවශ්‍ය වුවහොත් ක‍්‍රීඩකයන්ගේ ජාතික හැදුනුම්පත් ඉදිරිපත් කළයුතු බවට සියලූම පාසල්වලට දැනුම්දී ඇති බව පාසල් රග්බි සංගමයේ වයස 20 න් පහළ තරගාවලි ලේකම් ගාමිණි සරත්චන්ද්‍ර මහතා පැවසීය.

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කළ විමසුමකදී තරගාවලි ලේකම්වරයා මෙසේ ද පැවසීය.

‘‘පසුගිය කාලයේ සිදුවූ දේවල් අවම කර ගැනීමේ අරමුණින් අපි සියලූම කණ්ඩායම් බාර ගුරුවරුන්ට දන්වා තිබෙනවා අවශ්‍ය වුවහොත් සියලූම ක‍්‍රීඩකයන්ගේ ජාතික හැදුනුම්පත් සුදානම් කර තබාගත යුතු බවට, පැමිණිල්ලක් ලැබුණොත් සංගමයේ හැදුනුම්පතට අමතරව ජාතික හැදුනුම්පත ද පරීක්‍ෂා කරනවා’’

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග ආරම්භ කරමින් කොළඹ රාජකීය විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර තරගය රාජකීය විදුහල් රග්බි පිටියේදී ද, ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර තරගය සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී ද, අනිද්දා (15) පැවැත්වේ.

පළමු කොටස

‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල්:
ඉසිපතන, ත‍්‍රිත්ව, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ රාජකීය, මහනුවර කිංග්ස්වුඞ්, මරදාන ශාන්ත ජෝශප්, ගල්කිස්ස විද්‍යා, කටුගස්තොට ශාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ සහ වෙස්ලි

‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල්:
කොළඹ ඞී. එස්. සේනානායක, ගල්කිස්ස සාන්ත තෝමස්, තර්ස්ටන්, කොළඹ මහානාම, මහනුවර ශාන්ත සිල්වෙස්ටර්, කොළඹ නාලන්දා, බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර, ලූමිබිණි, වේල්ස් කුමර සහ කොළඹ ආනන්ද

‘සී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල්:
කොළඹ කේරී, ශාන්ත බෙනඩික්, පානදුර රාජකීය, නුගේගොඩ ශාන්ත ජෝන්, කුරුණෑගල මලියදේව, කුරුණෑගල ශාන්ත ආනා, මාතලේ ශාන්ත තෝමස්, පන්නිපිටිය ධර්මපාල, පිළියන්දල මැදි මහ විදුහල, ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි

(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)