හොර ඊ මේල් ගනුදෙනුවලින් කෝටි 14ක් වංචා කරලා


භාණ්ඩ අපනයනයේ සහ ආනයනයේ සහ ආනයනයට සම්බන්ධ සමහ ව්‍යාපාරිකයින් ඊමේල් ගනුදෙනුවලදී ඩොලර් ලක්ෂ ගණනක් සංවිධානාත්මක ලෙස වංචාකර ඇති බව පෙනේ යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

එම ව්‍යාපාරිකයින් මීට අදාළ පරීක්ෂණ පොලිසියට බාරදී ඇත. දැනටමත් ව්‍යාපාරිකයින් පස් දෙනකු පමණ මෙම වංචාවට හසුවී ඇති බවද ඩොලර් ලක්ෂ දහයකට (රුපියල් 134400000) අධික මුදලක් ඔවුන් විසින් වංචා කරන ලදැයිද කියති.

දෙස් විදෙස්වල පිහිටි ආනයන හෝ අපනයන සමාගම්වලට අයවිය යුතු මුදල් බැරවිය යුතු බැංකු ගිණුම් වෙනස් කර ඇති බවටත් අලුතින් බැංකු ගිණුමක අංකයක් සහිතව ඊමේල් පණිවඩු මඟින් දැනුම්දීම් කර ඇත. ඊ මේල් පණිවුඩය මතම පිහිටුවා කටයුතු කිරීම නිසා මෙම මුදල් වංචාකාරයින්ගේ ව්‍යාජ බැංකු ගිණුම්වලට බැරවී ඇත. එම නිසා ඊමේල් මඟින් ලැබෙන පණිවුඩ මතම පිහිටා කටයුතු නොකර අදාළ ආයතනය සමග දුරකථනයෙන් හෝ සම්බන්ධවී සැක හැර ගත යුතුය.

මුදල් ප්‍රමාද බවට සැබෑ ගනුදෙනුකරු විමසන විටදී ව්‍යාජ බැංකු ගිණුමකට මුදල් යැවූ බව හෙළිවී ඇතැයි චන්ද්‍රගුප්ත මහතා කීවේය.

මෙම ‘ඊමේල්‘ පණිවුඩ පිරික්සීමේදී ඒවා ව්‍යාජ ලෙස සැකසූ පණිවුඩ බවට හෙළිදරව් වුණ බව චන්ද්‍රගුප්ත මහතා පැවසීය.