හොඳ ආර්ථිකයක පළමු පියවර දේශීය ගොවියා රැකීමයි


(අංජුල මහික වීරරත්න)

සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පළමු පියවර විය යුත්තේ දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මේ බව පැවසූයේ සෙවනගල උක් ගොවීන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා එම ප්‍රදේශයේ කළ සංචාරයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

ලංකා සීනී සමාගමේ  සෙවනගල සහ පැලවත්ත උක් ගොවීන්, කර්මාන්ත ශාලාවල සේවකයින් මෙන්ම සැපයුම්කරුවන් මුහුණ පා ඇති අර්බුධය පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් මුණගැසුණු බව කී නාමල් රාජපක්ෂ මහතා ඔවුන් දැඩි ජීවනෝපාය අර්බුදවලට මුහුණ දී සිටින බව සඳහන් කළේය.

සේවක වැටුප් නිසි වේලාවට නොගෙවීම, උක් ගොවීන් වෙත ලබා දිය යුතු මුදල් මාස ගණනාවක් නොගෙවීම, සැපයුම්කරුවන් වෙත නිසි ගෙවීම් නොලැබීම, සේවක අර්ථසාධක අරමුදල් ක්‍රියාවලිය නිසි පරිදි කළමනාකරණය නොවීම සහ උක් ඇඹරුම් ක්‍රියාවලියේදී ප්‍රමාණවත් නිෂ්පාදනයන් සිදු කිරීම මන්දගාමී වීම නිසා උක් වගාවන් අසීමිතව අපතේ යාමේ බරපතල ගැටළුවලට උක් කර්මාන්තය මුහුණ දී සිටින්නේ යැයි නාමල් රාජපක්ෂ මහතා කීය.

දේශීය ගොවියාට නිෂ්පාදන සඳහා ලබා දෙන වටිනාකම හොඳින් පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ ආර්ථිකය  ශක්තිමත් වනවා පමණක් නොව, එමඟින් රටේ ආර්ථිකයද ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කීය.

නිෂ්පාදන සැලසුම් නිසි කළමණාකරණය කරමින් මේ කාර්‍යයන් සිදු විය යුතු බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා නැතහොත් ලංකාවේ සීනි කර්මාන්තය විනාශ වීමේ අවදානමක් පවතින්නේ යැයිද කීය.