හොකී කණ්ඩායම තෝරන්න හොරට අත්සන් කර වැඩ වරද්දා ගනී


(රෝෂන් තුෂාර)

එංගලන්තයේ නොටින්හෙම් ප්‍රාන්තයේ පැවැති 2022 ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා ක්‍රීඩකාවන් තෝරා පත්කර යැවීමේදී ශ්‍රී ලංකා හොකී සංගමයේ තේරීම් කමටු සාමාජිකාවගේ අත්සන හොරට යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව වංචා විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට කරුණු දක්වමින් අද (13) පැවසීය.

ශ්‍රී ලංකා හොකී සංගමයේ තේරීම් කමිටු සාමාජිකා වයි.බි.එම්.ආර් තනුජානී යාපා මහත්මිය කළ පැමිණිල්ලක් අනුව වංචා විමර්ශන කාර්යාංශය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා සංගමයේ ලේකම්වරිය හා උපලේකම්වරිය සුදුසුකම් නොමැති කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවත්, කලින් තෝරා ගත් එක් ක්‍රීඩකාවකගෙන් එංගලන්තයට යෑමට රුපියල් 1100000.00ක මුදලක් ඉල්ලා ඇති බවත්, මුදල් නොමැති නිසා එම ක්‍රීඩකාවන් යෑම ප්‍රතික්ෂේප කර ඇති බවට යාපා මහත්මිය කාර්යාංශයට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පැවසීය.

මීට අමතරව 2019 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පුහුණුවීම් හා සුහද හෝකී තරගාවලියක් සඳහා ක්‍රීඩකාවන් තේරීමේදී සිය අත්සන හොරට යොදා ඇති බවද තේරීම් කමිටු සාමාජිකාව පොලිසියට පැමිණිලි කර ඇත.