හෙට 95 උපන් දිනය සමරන මහා සිනමාවේදියා



 

”හෙළයේ අග‍්‍රගන්‍ය සිනමාවේදියා” ලෙස සැලකෙන, මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද සම්මානයට පාත‍්‍ර වූ ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 95 වැනි උපන්දිනය හෙටට (05) යෙදී තිබේ.

ලාංකීය සිනමාව කෙබඳු එකක් දැයි මෙරට පේ‍්‍රක්‍ෂකයාට මෙන්ම ලොවටද හඳුන්වා දුන් මේ කීර්තිධර සිනමාවේදියා අතින් චිත‍්‍රපට 20ක් නිර්මාණය වී තිබේ. 1955 වසරේදී ‘‘රේඛාව’’ චිත‍්‍රපටයෙන් ලාංකීය සිනමාවක් බිහිකළ මේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා අසනීප මධ්‍යයේ වුවද ‘‘රසවින්දන’’ සමග කෙටි කතාබහකට එක්වූයේ ඔහු තුළ තිබූ නිහතමානී ගුණය නිසාය. එතුමාට ‘‘සුබ උපන් දිනයක්’’ පතමින් ඔහුගේ කතාබහට අපි ඉඩ දුන්නෙමු.

‘‘අවුරුදු 95ක් මට හිමිවුණා කියා තවමත් හිතාගන්න බැහැ. දෙවියන්ගේ පිහිටෙන් ඉන්නවා. අපි ජීවිතයේ තනිවෙලා නෑ කියා මා විශ්වාස කරනවා. කවුරු හරි අපි ආරක්ෂා කරනවා ඇති. සුමිත‍්‍රා (ප‍්‍රවිණ සිනමාවේදී සමිත‍්‍රා පීරිස්) මෙතරම් හොඳින් මාව බලාගත්තේ නැතිවුණානම් මෙතරම් කල් මා ඉන්න එකක් නෑ. ඇය හොඳ බිරිඳක්, මවක් ලෙසින් මාව බලාගන්නවා. දැන් මා වැඩිය හිතන්න ගන්නේ නෑ. මොළය වෙහෙසන්න මා කැමති නෑ. ඒ හින්දා ගොඩක් දේ දැන් මතකයෙන් අයින් වෙන බවක් වැටහෙනවා.

මා අවුරුදු 10කින් විතර චිත‍්‍රපටයක් කරලා නෑ. අන්තිමට කළේ ”අම්මාවරුනේ’’ චිත‍්‍රපටයයි. මා ඒවායින් දැන්  ඉවත්වෙලා ඉන්නේ. චිත‍්‍රපට 20ක් විතර මා අතින් නිර්මාණය වුණා. ඒවා මෙරට මෙන්ම ජගත් ඇඟැයීමටත් ලක්වුණා. ඒ කළ නිර්මාණ ටික මට හොඳටම ඇති.

අද දක්‍ෂ නළු නිළියන් අපට ඉන්නවා. ඒ වගේම ප‍්‍රසන්න,  විමුක්ති, හඳගම වැනි දක්‍ෂ අධ්‍යක්‍ෂවරු අපට ඉන්නවා. ඔවුන් ලාංකීය චිත‍්‍රපට කලාව ඉදිරියට ගෙනියනවා. ඒ ගැන සතුටුයි. ඊට එහා චිත‍්‍රපට ලෝකය ගැන මා සොයන්න යන්නේ නෑ. සුමිත‍්‍රා තමයි අද ඒ සියල්ල කරන්නේ. මුලින් කිව්වා වගේ දැන් මොළයට වෙහෙසක් දෙන්න මා කැමති නෑ.

මගේ 95 වැනි උපන් දිනයදා, මා දිගු කාලයක් තිස්සේ කතා කළ චිත‍්‍රපට සංරක්ෂණාගාරයක මුල් පියවර තබන බව දැනගන්න ලැබුණා. ජනාධිපතිතුමා තමයි එයට මූලික වෙලා කටයුතු කරන්නේ. ඇත්තටම එතුමා හුඟාක් උනන්දු වුණා. මා දන්නේ නෑ. කොහොමද මේ කටයුත්ත කරන්නේ කියා. ඒ කටයුතු වල නිරත වෙන්නෙත් සුමිත‍්‍රා තමයි.

මම එක සැරයක් පත්තරවලට මේ ගැන ලිව්වා. ඊට පස්සෙ කීප දෙනෙක් මේ ගැන උනන්දු වුණා. නමුත් එහි නොයෙකුත් ප‍්‍රශ්න ඇතිවුණා. බාධා ආවා. එදා ජාතික ලේඛනාරක්‍ෂණාගාරයේ මේ කටයුත්ත කරන්න පුළුවන් බව කිව්වත්, ඔවුන්ට අදාළ නැතැයි කියා නවතා දැම්මා. එය වැරැදි කියමනක්. අද එයින් මේ කටයුත්ත පටන් ගැනීම හොඳ දෙයක්. ඇත්තටම ඒක හාස්කමක්. මේක හොඳ දෙයක්. මෙයට දායක වන හැමෝටම මා ස්තූතිය පුදකරනවා. මොකද මෙය අනාගත පරපුරට කරන සේවයක් නිසා. නැත්නම් එදා තැනූ හොඳ ලංකීය චිත‍්‍රපට නමට පමණක් තිබේවි. ජනාධිපතිතූමාගේ උනන්දුවීම මා අගය කරනවා.
මට දැන් ගොඩක් දේ අමතක වෙනවා. මතක් වුණත්, මා ඒවා සඳහා මොළය පාවිච්චි කරන්නේ නෑ. මොකද මොළය වෙහෙසන්න දැන් මා කැමැති නෑ. නිදහසේ වැඩිය හිතන්නේ නැතිව ඉන්න එක තමයි මා දැන් කරන්නේ”

මේ අග‍්‍රගන්‍ය සිනමාකරුවා එසේ පැවසුවද, ඔහුට නිදුක්, නිරෝගී සුව අප පතන්නේ ඔහු අප මවුබිමට මහඟු සම්පතක් නිසාවෙනි. ආසියාවේ ශ්‍රේෂ්ඨතම සිනමාකරුවා බවට පත් වී සිටින ආචාර්ය ලෙස්ටර් පීරිස් සිනමාවේදියාණෙනි. ඔබ අපට, අපේ සිනමාවට රජෙකි. ඒ තුළ ඔබ කී දෑ ඉටුවන්නේ නම් එය ඔබට මෙන්ම අපටද සතුටකි. ඒ රට ඔබ වෙනුවෙන් කරන මහඟු පුණ්‍යකර්මයකි. චිරං ජයතු, මහා සිනමාවේදියාණෙනි.