හුළං අරින ඕඅයිසීට හුළං?


වැලිවේරිය නගරයේ පාසලක් අසල නවතා තිබූ ත්‍රීරෝද රියක හුළං යැවූ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ ආරංචි මාර්ග කියයි.

නගරයේ රථවාහන තදබදය අවම කිරීමට යැයි කියමින් මෙලස දිගින් දිගටම සිදුකරන බවට ප්‍රදේශවාසීන් පවසතියි එම ආරංචි සඳහන් කරයි.

හුළං යැවූ ත්‍රීරෝද රිය නවතා තිබූ ස්ථානයේ වාහන නවතා තැබිය නොහැකි බව සඳහන් පුවරු නොමැති බවත්, වාහන වැරදි ආකාරයට නවතා තබා ඇත්නම් දඩ කොළයක් දීම සිදු කළ හැකි වුවද හුළං හැරීම සිදු කළ නොහැකි බවත් පොලිස් ආරංචි කියයි.

එම පැමිණිල්ල කළ පුද්ගලයා වැලිවේරිය නගරයේ පාසලකට ගොස් ඇතැයි ද, පාසලේ විදුහල්පති සමග සිටිය දී පොලිසියෙන් ත්‍රීරෝද රියක හුළං යවන බවට සිසුන් කිහිප දෙනකු පැවසීයැයි ද, ඒ අනුව පාසලේ ගේට්ටුව අසලට එන විට පොලිස් ස්ථානාධිපතිවරයකු සහ තවත් පොලිස් නිලධාරියකු තම ත්‍රීරෝද රියේ හුළං යවමින් සිටි බව ද ඔහු කළ පැමිණිල්ලේ සඳහන් ය.