මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’, ‘රත්නාවලී’, ‘හස්තිකාන්ත මන්තරය’ යන නාට්‍යවල වත්මනෙහි ප‍්‍රධාන භූමිකා රංගනයෙහි නිරත වන්නේ ඔහුය. සනත් විමලසිරි නම් වූ ඔහු අවසන් රාජ්‍ය නාට්‍ය උලෙළේදී චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ නාට්‍යය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය. වේදිකාවේ මෙන්ම පුංචි තිරයේද පෙළහර පාන ඔහු සමගින් ‘අද’ කළ කතාබහක සටහනකි මේ.
“මේ දිනවල මම කොළඹ විශ්වවිද්‍යාලය තුළ විශේෂ පර්යේෂණයක නිරත වෙනවා. ඒ වගේම ගුරුවරයකු වශයෙන් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය පිළිබඳ වැඩසටහනකටත් දායක වෙනවා. භාරත රංග මහෝත්සවයට තේරී පත්වුණු ‘රජා මං‘ වහලා’ නාට්‍යයටත් මම මේ දවස්වල සූදානම් වෙනවා. එම දර්ශනය වෙනුවෙන් අපි ලබන මාසයේදී ඉන්දියාව බලා යා යුතුයි* සනත් කතාව ඇරඹුවේය.
වත්මන් වේදිකා නාට්‍ය කලාවේ යම් ප්‍රබෝධයක් පවතින වගක් පැවසෙනවා?
ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂී අත්හදා බැලීම් ප්‍රමාණයක් සිදුකෙරෙන, වැඩිම පර්යේෂණාත්මක කෘති ප්‍රමාණයක් නිෂ්පාදනය වන කාල සමයක් ලෙස වර්තමානය සැලකිය හැකියි. හැට, හැත්තෑව දශකය තරම්ම පිරිපුන් වකවානුවක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. නාට්‍ය කලාවට අතිශය දක්ෂ නාට්‍යවේදීන් රැසක් සම්ප්‍රාප්ත වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ මොහොතේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පීඨය විසින් ශිල්පීන් සහ කලාකරුවන් බිහිකිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා. ඒ බව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මොකද ඔවුන් උගත් කලාකරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවය වටහාගෙන විශේෂ භූමිකාවක් මෙහි නිරූපණය කරනවා. විශේෂයෙන්ම ප්‍රවීණයන්ට අභියෝග කළ හැකි මට්ටමේ අත්හදා බැලීම් වත්මන් තරුණයන් සිදුකිරීම පැසසිය යුත්තක්.
ඒත් සමාජගත වීම පිළිබඳ ගැටලුවක් අදටත් පවතිනවා නේද?
ඔව්. සන්නිවේදනය පිළිබඳ ගැටලුවක් අද මතුවෙලා තියෙනවා. ඒ සඳහා තමයි ජනමාධ්‍ය ක්‍රියාකාරීව දායක විය යුතු වෙන්නේ. අනික මෙම අත්හදා බැලීම්වලට, පර්යේෂණවලට කිසිම අනුග්‍රහයක්, සහයෝගයක් වත්මන් තරුණයාට නැහැ. ජනතා කතිකාවතක් නැහැ. ඒක තමයි ඛේදවාචකය.
කලාකෘතියක් රසවිඳින ආකාරය පිළිබද අධ්‍යාපනයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන වැඩපිළිවෙළකුත් වර්තමානයේ දකින්න නැහැ?
ඒකත් වත්මන් නාට්‍ය කලාවේ ප්‍රේක්ෂකයා පිළිබඳ පවතින තවත් ඛේදවාචකයක්. හුඟක් ප්‍රේක්ෂකයන්ට නාට්‍යයක් රසවිඳින ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. අනික ප්‍රේක්ෂකයා කියන්නේ පාලනය කළයුතු කෙනෙක් නෙමෙයි. ඒත් ඒ බව බොහෝ දෙනෙක් දන්නෙත් නැහැ. නාට්‍ය ශාලාවට පැමිණෙන ප්‍රේක්ෂකයාට නාට්‍ය කෘතිය නැරඹිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් බවක් තිබිය යුතුයි. ඒ නිසා නාට්‍ය ශාලාවට පැමිණෙන සැබෑ ප්‍රේක්ෂකයාට දුරකථනය විසන්ධි කරගත යුතු බව අමුතුවෙන් කිවයුතු නැහැ.
ඔබත් ගුරුවරයෙක්. ළමුන් පිළිබඳවත් යම් අදහසක් ඇති ?
ළමුන් එන්න එන්නම දූෂණය වෙමින් පවතිනවා. යාන්ත්‍රික වෙමින් පවතිනවා. අපි හැදුණේ මනුස්සකමත් එක්ක. ස්වභාවධර්මයත් එක්ක. සෞන්දර්යයත් එක්ක. හැබැයි අද ළමයින්ට ඒ දේවල් ටිකෙන් ටික අහිමිවෙමින් පවතින සේයාවක් තමයි අපට පෙනෙන්නේ. හැම මානව සම්බන්ධතාවයක්ම ගිලිහිලා. ළමුන්ට මගපෙන්වීම මිසක් උගැන්වීම නෙමෙයි ගුරුවරයාගේ කාර්යය. අනික අද ළමයා තුළ සොයා යාමක් නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුවත් සමහරු ගෙවල්වලට වෙලා ඉන්නවා. ඔවුන් සොයා යන්නේ නැහැ.
ළමා නාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ ?
තිස්ස ගුණවර්ධන සර් (මොරටුව වේල්ස් කුමර විද්‍යාලය), ජාලිය රාජපක්ෂ (කුරුණෑගල මලියදේව විද්‍යාලය), අමිතා රබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විදුහල), පාලිත ලොකුපෝතාගම වැනි ගුරුවරුන් ලාංකේය ළමා නාට්‍ය කලාව වෙනුවෙන් විශාල සේවාවක් මෑත කාලයේදී ඉටු කළා. ඒත් ළමා නාට්‍ය ගුරුවරු පුහුණු කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ මොහොතේදී අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එවැන්නක් අනාගත ළමා නාට්‍ය කලාව වෙනුවෙන් ඉතා වටිනවා. ඒ වගේම ඔවුන් නිරතුරු යාවත්කාලීන කළ යුතුයි.
ඒත් අපි කලාව අතින් ගත්තම තවමත් පසුවන්නේ හැට, හැත්තෑව දශකයේ බවටයි බොහෝ ප්‍රවීණයන් අදටත් චෝදනා කරන්නේ ?
ඒකට හේතුවක් තියෙනවා. ඔවුන් එවැනි ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ සිදුකළේ මෙතරම් තාක්ෂණය දියුණු සමාජයක නෙමෙයි. ඒ නිසා ලැප්ටොප් පරිගණකයක් හෝ ජංගම දුරකථනයකින් ලොවම අතැඹුලකට ගත හැකි ලෝකයක ජීවත්වන අපේ නිර්මාණ ශක්තිය තව තවත් වැඩිදියුණු විය යුතුයි. අපේ චින්තන ශක්තිය යාවත්කාලීන විය යුතුයි. ඒ අතින් ගත්තාම අපි තවමත් පසුගාමී අවධියක තමයි පසුවෙන්නේ. නමුත් එයින් වත්මන් අත්හදා බැලීම් අවතක්සේරු කිරීම වැරදියි. හැට, හැත්තෑව සමග වත්මන් නිර්මාණ සැසදීම නොකළ යුත්තක්. හැබැයි විශිෂ්ට නිර්මාණ අදත් බිහිවෙනවා. ඒ නිසා අනුග්‍රහය ලබාදීමයි සිදුකළ යුත්තේ. එසේ සිදුවුණොත් වත්මන් යුගය ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය වෙනවා සත්තයි.
කතාබහ සහ සටහන - මාලන් විදානපතිරණ

