හීන තිබුණට කෝටියක් අතේ නැහැ එක රුපියලක්


“හීන තිබුණට කෝටියක් අතේ නැහැ එක රුපියලක්” මේ කියමන තරුණ පරපුර අතර නිතර රැඳෙන කියමනක් වෙලා.  ‍‍ෆේස්බුක් සහ බොහෝ සමාජ වෙබ් අඩවිවල නිතර මේ කියමන දැකගන්න පුළුවන්. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ වචන පේළියක් තමයි ඒ. මේ ගීතය ලියලා තියෙන්නේ එම ටෙලි නාට්‍යයේ තිර පිටපත ලියූ සද්ධා මංගල සූරියබණ්ඩාර විසින්. ඒ පිළිබඳව කතාබහ කරන්න ඔහු ‘සාරවිට’ සමග මෙලෙස එක් වුණා.

 

20170125Sadda-1අපි මුලින්ම ‘හාරකෝටිය’ නාට්‍යයේ තේමා ගීතය ගැන කතා කළොත්?

එම නාට්‍යයෙන් කියැවෙන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන කොළඹ පැල්පත්වාසීන්ගේ ගැටලුවක්. ඒකට අදාළව තමයි මේ සිංදුවත් ලියැවෙන්නේ. ඒ කියැවෙන ජනතාව ගත්තොත් ඒ අය එක එක දුසිරත්වලට යොමුවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් වාහනවල සයිට් කණ්ණාඩි ගලවා වගේ වැඩ කරනවා කියලනේ කතාව තියෙන්නේ. සමාජයෙන් ඔවුන්ව  අනිත් මිනිසුන්ගේ සැපත හොරකම් කරන මිනිසුන් ලෙස හංවඩු ගසා තිබෙනවා. මේ ගොල්ලන්ට තියෙන ආර්ථික ගැටලුත් එක්ක මෙයාලට අනුන්ගේ සැප තමන්ගේ කරගෙන ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතිං මම සිංදුවෙන් කියන්න උත්සාහ කළේ ඒ දේ. ඒකයි මම සිංදුවෙන් ‘අනුන්ගේ සැප බලෙන් උදුරන් අපේ කරගත්තොත් මිසක් අපිට සැපතක් ලැබෙන්නෑ’ කියලා. ආදරය ගැන කතා කළත් ‘දුන්න උදුරන් මල්සරාගෙන් අපිම විඳගත්තොත් මිසක් අපිට ආදරෙ ලැබෙන්නෑ’ කියලා තියෙනවා. ඒ වගේ තේමාවන් එක්ක තමයි සිංදුව ලියැවෙන්නේ. මේ කතාවෙන් කියැවෙන්නේ වෙන කෙනෙක් හොරකම් කරන කෝටි 4ක් මේගොල්ලො රඳවගෙන ඒකෙන් මේ ගොල්ලො ජීවිතේ ගොඩනගා ගන්න දරණ උත්සාහයක්.

මේ ගීතය නිර්මාණය වෙන්නේ යම්කිරි පිරිසක් ඉලක්ක කරගෙනද?

මේකෙන් තරුණයන් තමයි ඉලක්ක වෙන්නෙ. නාට්‍ය තුළත් තාරුණ්‍ය තමයි සාකච්ඡා වෙන්නේ. මේක ටෙලිනාට්‍යයට ගැළපෙන්න ලියපු ගීතයක් වුණාට සාමාන්‍යයෙන් සමාජය තුළ සිදුවෙන කතන්දරයත් මේක තමයි. අපිට තියෙන අසීමිත සිහින, අසීමිත ආසාවන් එක්ක බලනකොට අපිට ඒ දේවල් ඉටුකරගන්න අවශ්‍ය සම්පත් නැහැ. ඒ කියන්නෙ අපිට හීන කෝටියක් තිබුනට ඒවා ඉටු කරගන්න අවශ්‍ය සම්පත් ළඟ නෑ. ඒ නිසා අපි කවුරුත් හැමවෙලාවෙම ඉන්නේ අසහනයෙන්. උදාහරණයක් විදියට මට කාර් එකක් තිබුණට මම බලන්නේ මීට වඩා හොඳ කාර් එකක් ගන්නනෙ. ඒක මනුස්ස ස්වභාවයනෙ. ඒ කියන්නේ හීන එන්න එන්න පැටවු ගහනවා. නමුත් හීනවලට සාපේක්ෂව අපේ තියෙන සම්පත් සහ හැකියාවන් පැටවු ගහන්නේ නෑනේ. අපි හැමවෙලේම ඉන්නේ ‘හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්’ කියන පදනමෙන්.

20170125Sadda-2මේතුළ තරුණයින්ගේ ග්‍රහණයවීමක් ඔබ දකිනවාද?

ඔව් අනිවාර්යයෙන්ම. ෆේස්බුක් එක බලපුවාම තේරෙනවා තාරුණ්‍යයේ ග්‍රහණයවීමක් තියෙනවා කියලා. මම දැක්කා ගොඩක් පෝස්ට්වල ‘හීන තිබුනට කෝටියක් - අතේ නෑ එක රුපියලක්’ කියන එක දාලා තියෙනවා . මගේ යාළුවෙක් මට කිව්වා කුරුණෑගල පැත්තේ ත්‍රීවීල්වල මේක  ගහල තියෙනවා දැක්කා කියලා. මේක සමාජගතවීම ටිකක් වේගවත්. ස්වර්ණවාහිනිය හා ඒ ආශ්‍රිත මාධ්‍ය 3ක පමණ තමයි මේක ප්‍රචාරය වෙන්නේ. අපි තවම මේ සඳහා රූප රචනයක් කරලා නැහැ. හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා ගීතය සඳහා.

ගීතය සමාජගතවීම පි‍ළිබඳ ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම සතුටුයි. මම කලින් වේදිකා නාට්‍ය හා විහිළු සඳහා යම් යම් නිර්මාණ කළත් ගීතයක් ලෙස ලියපු පළමුවැනි නිර්මාණය තමයි මේක. මම සිංදුව ලිව්වේ ටෙලිනාට්‍ය වෙනුවෙන්. සිංදුව ලිව්වේ සමාජගතවීමක් වෙනුවෙන් නෙවෙයි. නමුත් සමාජය මේ ගීතය වැලඳ ගැනීමත් එක්ක ලොකු සතුටක් තිබෙනවා. මොකද මම ගීත රචකයෙක් නෙවෙයි. නමුත් මගේ පළමුවැනි නිර්මාණය මේ විදියට සමාජගතවීම ගැන ගොඩක් සතුටුයි.

ඩිලාන් ක්‍රිෂාන්ත