හිසේ කැක්කුමෙන් සිටි සිසුවාට චිත්‍ර ගුරුගෙන් පහර


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,  පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ  ආනන්ද ඉ. ජයකොඩි

හිසේ කැක්කුම බව කියමින් මේසයේ හිස තබාගන නිදා සිටි, වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දහතුන් හැවිරිදි සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා, හිසට හා කන් දෙකට ගැසූ බව කියන එම පාසලේ චිත්‍ර ගුරුවරයකුට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරියට  පැමිණිල්ලක් ලැබී ඇත.

ජාතික ළමාරක්‍ෂක අධිකාරිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වේයන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමුකර ඇත.

පහරකෑමට ලක්වූ සිසුවා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිසුවා මේසය මත හිස තබාගෙන නිදා සිටින අයුරු දුටු චිත්‍ර ගුරුවරයා සිසුවා ළඟට පැමිණ කිසිදු වගවිභාගයකින් තොරව මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.

වේයන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.