වසර දෙකකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීයැයි කියන කැරැල්ල කිසිවකුගේ උවමනාවට ඇතිකරගත්තක් බව ද, කැරැල්ල සමතයකට පත් කළ පසු බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශයකට සම්බන්ධ පිරිසක් සිරකරුවන් රැසක් වෙඩි තබා මරා දැමූ බව ද, වත්මන් රජය යටතේ සාධාරණ විමර්ශනයක් පවත්වන්නේ නම් සාක්කි ඉදිරිපත් කළ හැකි බව ද නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
2012 නොවැම්බර 09 වැනි දා එම කැරැල්ල අතරතුර දී 28 දෙනකු මිය ගිය බව ආරක්ෂක අංශ ඒ දිනවල කීවේය.
සිද්ධිය වී දින කිහිපයක් ඇතුළත මේ ගැන සේවීමට කමිටුවක් පත් කළ බව එවකට පැවති රජයෙන් කීවද මෙතෙක් එම කොමිසමෙන් කළ දෙයක් ගැන දැනගන්නට නැතැයි ද නීතීඥ ප්‍රේමරත්න මහතා පැවසීය.
‘සාමාන්‍යයෙන් සිර මැදිරි පරීක්ෂා කරන්නේ සිරකරුවන් රඳවා සිටියදී. බන්ධනාගාරය ආයුධ ගෙන යෑම තහනම්. නමුත් මේ සිද්ධිය වූ දිනයේ සිරකරුවන් වැඩවලට ගිය අවස්ථාවේ තමයි ආයුධ අතැතිව විශේෂ කාර්ය බළකාය ආවේ.
ඔවුන් ආවේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් නැතිව. සිරකරුවන් රැසක් එළියේ සිටිය දී සමහර වාට්ටුවල හිටපු සිරකරුවන්ට හිංසා කළා. ඒ ගැන එළියේ සිටි සිරකරුවන් කලබල වුණා.
මේ සිද්ධිය නිමාවට පත් වුණායින් පස්සේ බන්ධනාගාරයේ පාලනය බන්ධනාගාර නිලධාරීන්ට බාර දුන්නේ නෑ. රාත්‍රී 12ට විතර ආරක්ෂක අංශයකට සම්බන්ධ එක්තරා නිලධාරියකු පැමිණ කොළයක් බලමින් එහි ඇති නම් සෙව්වා. ඉන් පසු ඔවුන්ට වෙඩි තබා මරා දැම්මා.
මේ මරා දැමූවන් අතර ඉන්නවා කෝට්ටේ හිමිනමක් ඝාතනය කළැයි සැකපිට සිටි මංජු ශ්‍රී කියන පුද්ගලයා. ඔහු කඩුවක් සොයන්න තමයි එම විහාරස්ථානයට ගිහින් තිබුණේ. කටුගෙයි කඩුවත් නැතිවුණා. කඩු කාටද ඕනෑ කර තිබුණේ කියන එක බොහෝ දෙනෙකු දන්නවා.
මේ සැකකරු ඊට දින කිහිපයකට පසු නඩු වාරයේ දී තමන් කඩුව සොයන්න ගියේ කාටද කියා විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිතව තිබුණා. අන්න ඒ නිසා ඔහු මරා දමන්නට ඇතැයි සැක කරනවා.
තවත් රැඳවියන් බොහෝ දෙනකු අඩුයි. ඔවුන්ට කුමක් සිදුවීද කියා තවම දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඕනෑතරම් සාක්කි තිබෙනවා. සාධාරණ විමර්ශනයක් පවත්වන්නේ නම් ඒවා ඉදිරිපත් කළ හැකියි.‘
රාවය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ කසුන් පුස්සවෙල -
‘මා රාවය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරද්දී මේ සිද්ධිය දිගින් දිගටම වාර්තා කළා. සිරකරුවන් ලැයිස්තු ගත කර මරා දැමූ බව පළ කළා. ඒවා වැරදි නම් නිවැරදි කිරීමක් එවන්න ඕනෑ. අද වෙනතුරු පැහැදිලි කිරීමක්වත් එව්වේ නැත්තේ මේවා සත්‍ය තොරතුරු නිසයි.‘

