හිරු පාපැදි සවාරියේ ශූරයා ලක්ෂ්මන්


‘හිරු’ රේඩියෝ නාලිකාවේ 15 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලැබූ සිව්වැනි ‘හිරු පාපැදි සවාරිය’ ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න සමත්විය. තරගයේ දෙවැනි අදියර අවසන් කිරීම සඳහා ඔහුට ගතවී තිබූ කාලය පැය 7 විනාඩි 30 තත්පර 9 කි.

තරගයේ දෙවැනි ස්ථානය නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ සමන් කුමාරට හිමිවූ අතර ඔහුට තරගය අවසන් කිරීම සඳහා පැය 7 විනාඩි 30 තත්පර 38 ක කාලයක් ගතවිය. පැය 7 විනාඩි 30 තත්පර 58 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ සුධීර නිලංග තෙවැනි ස්ථානයට පත්විය.

දක්ෂතම කඳු නගින්නාට හිමිවන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග සමත්විය. තරගයේ පළමු අදියර ජය ගනිමින්, ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සුධීර සමත්වුවද, දෙවැනි අදියර අවසන් වන විට ඔහුට හිමිවූයේ සමස්ත ලකුණු සටහනේ තෙවැනි ස්ථානයයි.

කෙටි දුරක් වේගයෙන් පැදයන්නාට (ස්ප‍්‍රින්ට් ශූරයාට) හිමි ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ මධුසංක පෙරේරා දිනාගත්තේය.

තරගාවලියේ සමස්ත කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්වූ අතර එහි දෙවැනි ස්ථානය හිමිවූයේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටයි. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම, කණ්ඩායම් අංශයේ තෙවැනි ස්ථානයට පත්විය.

පාපැදි තරගකරුවන් 150 කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙහි පළමු අදියර, 5 වැනිදා උදෑසන 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ වී, ගාලූ පාර ඔස්සේ දෙහිවල, මොරටුව, පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර, පැල්මඩුල්ල හරහා බලංගොඩට පැමිණ බලංගොඩ ප‍්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිටින් අවසන්වූ අතර දෙවන අදියර 6 වැනිදා බලංගොඩ ප‍්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ වී පැල්මඩුල්ල, රත්නපුර, ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, යක්කල, නිට්ටඹුව, අත්තනගල්ල හරහා පැමිණ කිරිඳිවැල ලංකා සතොස ඉදිරිපිටින් අවසන් විය.