”සඳැල්ල” මතක පොත වර්ණවත් කරන්න හිතාගෙන මෙහෙම කිව්වේ වේදිකාව, සිනමාව හා පුංචිතිරය ජය ගත් ගීතා කාන්ති ජයකොඩි නම් ප්‍රවීණ රංගන ශිල්පිනියයි. ඇගේ රංගන ජීවිතයේ සම්මානනීය අතීතය සිහිපත් කරන ඒ කතාවයි මේ.
1986 සැප්තැම්බර් මාසෙ 05 වැනිදා තිරගත කෙරුණු ”පූජා” චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ධර්මසිරි ගමගේ මහත්මයා. ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය කරන්න සූදානම්වන කාලයේ එක දවසක් එතුමා ආවා අපේ ගෙදර මාව මුණගැහෙන්න. ඇවිත් කිව්වා ”පූජා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන වසන්තිගේ චරිතයට මාව තෝරා ගත්තා කියලා කැමති ද කියලා ඇහැව්වාම මං කැමතියි කිව්වා.
ගමගේ මහත්මයා මාව තෝරාගෙන තියෙන්නේ ”කැලණි පාලම” වේදිකා නාට්‍යයේ මගේ රඟපෑම දැකලා. මං ඒ නාට්‍යයේ රඟපෑවේ පාසල් ශිෂ්‍යාවකගේ චරිතයක්. ඒ තමයි මගේ ප්‍රථම රංගනය.
ඒ වෙනකොට මං විජය ධර්ම ශ්‍රී මහතාගේ ”රන්දොරටුව” ඒකාංගික ටෙලිනාට්‍යයේ නීතිඥවරියකගේ චරිතයක් රඟපාලා තිබුණා. ඒ චරිතය රඟපෑම නිසා හොඳම නිළියට පිදෙන සම්මානයත් ලැබිලා තිබුණා. ඒ වගේම ආචාර්ය ඞී.බී. නිහාල්සිංහ මහත්මයාගේ ”රිදී නිම්නය” චිත්‍රපටයටත් මාව තෝරාගෙන තිබුණා. නමුත් ප්‍රථමවරට ප්‍රධාන චරිතයකට මාව තෝරාගත්තේ ”පූජා” චිත්‍රපටයෙන්.
ඉතින් ධර්මසිරි ගමගේ මහත්මයා ”පූජා” චිත්‍රපටයේ තිර පිටපත මට කියවන්න දීලා මං රඟපාන වසන්තිගේ චරිතය ගැන හොඳ විග්‍රහයක් කරලා හොඳ අවබෝධයක් ලබා දුන්නා.
සෙසු චරිත ජෝ අබේවික්‍රම, අමරසිරි කලන්සූරිය, ගාමිණී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, සොමී රත්නායක, කමල් අද්දරආරච්චි, විමල් කුමාර ද කොස්තා, ශාන්ති ලේඛා රඟපෑවා.
කතාව, තිර පිටපත, අධ්‍යක්ෂණය සහ ගීත රචනය ධර්මසිරි ගමගේ, නිෂ්පාදනය ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු, සංගීතය පේ‍්‍රමසිරි කේමදාස, කැමරාව කේ.ඞී. දයානන්ද, ගායනය සුනිල් එදිරිසිංහ, සංස්කරණය ස්ටැන්ලි ද සිල්වා.
”පූජා” චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නේ මෙහෙමයි. වසන්තිගේ මව මියගිහින්. පියා හැටියට රඟපෑවේ ජෝ අබේවික්‍රම. දුප්පත්කම නිසා ඔහු තෝරාගෙන තිබෙන්නේ බන්ධනාගාරයේ අලූගෝසු රස්සාව. ඒ කියන්නේ එල්ලූම් ගහට නියමවෙච්ච මිනිස්සු මරණ එක.
ඒත් ඔහු ආගමානුකූලව ජීවත්වන පුද්ගලයෙක්. සෙනෙහෙබර පියෙක්. දරු දෙන්නාට උගන්වලා ඔවුන් යහ මග යවන රත්තරන් තාත්තා කෙනෙක්. එකම පුතාගේ චරිතය රඟපෑවේ අමරසිරි කලන්සූරිය. ඉගෙනීමක් තිබුණත් රැුකියාවක් නැතිකමට ඔහු කළේ ත්රීවිලර් ටැක්සියක් එළවීම.
හොඳ අධ්‍යාපනයක් ලැබූ වසන්ති දුවටත් රැකියාවක් නැහැ. මේ අතරේ වසන්තිට රැුකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට කැඳවීක් ලැබෙනවා. දේශපාලඥයෙකුගේ ආයතනයකින්. දේශපාලනඥයාගේ පුතා තමයි සම්මුඛ පරීක්ෂණය පවත්වන්නේ. මේ අවස්ථාවේ ඔහු වසන්තිට බලහත්කාරකම් කරන්නට උත්සාහ ගන්නවා. ඒ මොහොතේම මේ සිද්ධිය සිය මිතුරන්ගේ මාර්ගයෙන් සහෝදරයාට දැන ගන්නට ලැබෙනවා. ඔහු වහාම ත්රීවිලරයෙන් එතැනට හඹා එනවා. සිද්ධිය ඇස් දෙකෙන්ම දැක ගන්නට ලැබෙනවා. මෙතැනදී සිය සහෝදරිය බේරා ගැනීමට දේශපාලනඥයාගේ පුතාට පහර පිට පහර දෙනවා. එතැනදී දේශපාලනඥයාගේ පුතා මිය යනවා.
නිවසේ සිටියදී සිය සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. තමන්ගේ ජීවිතය බේරා ගන්නට ගිහින් අය්යා පොලිස් අත්අඩංගුවට පත්වෙනවා නේද කියා ඇය වැළපෙනවා. නඩු විභාගයකින් පසුව ඔහුට මරණීය දණ්ඩනය නියම වෙනවා. මේ දඬුවම පමුණුවන්න තියෙන්නේ පියාගේ අතින්. දඬුවම පමුණුවන වේලාවේ රාජකාරියට වඩා දරු සෙනෙහස දෝරේ ගලාගෙන ගිහින් තාත්තාගේ හදවත පැලීගොස් මිය යනවා. ඒ තමයි ”පූජා” කතා සාරාංශය.
”පූජා” චිත්‍රපටයේ වැඩිපුරම ෂූටින් තිබුණේ කොළඹ නගරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ. ඉතින් ෂූටින් තියෙන දවස්වල හැමදාම උදේට ධර්මසිරි ගමගේ මහත්මයාගේ ගෙදරට ගිහින් එදිනෙදාට තියෙන රූගත කිරීම් ගැන අවබෝධයක් ලබා ගන්න නියමවෙලා තිබුණා.
මම ඒ දවස්වලට යන්නේ අපේ පබෝදනී දුවත් එක්කයි. ඒ දවස්වල දුව හරිම පුංචියි. ගමගේ මහත්තයාගේ පුතාලත් පුංචියි. ඉතින් ගෙදරට ගිය හැටියෙම මට කොළ කැඳ කෝප්පයක් පිළිගැන්වීම ගමගේ මහත්මයාගේ නෝනගේ පුරුද්දක්. ඊට පස්සෙ උදේට කෑම කාලා අපි සාකච්ඡා කරනකොට පුංචි පැටව්ටික සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ පැටව් ටික සෙල්ලම් කරන ගමන් මගේ පබෝදිනී දුවයි ගමගේ මහත්මයගේ පුතෙකුයි ජබෝග් ගාලා වැටුණෙ නැතැයි මිදුලේ තිබුණු පොකුණට. ඒ වෙලාවේ අපි ඔක්කෝම විළාප දුන්නා. ඒ වුණාට පැටව් දෙන්නා හිනාවෙනවා. මේ සිද්ධිය නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.
ගමගේ මහත්මයා හරිම සංවේදී කලාකරුවෙක්. වසන්තිගෙ පියා දරු සෙනෙහස උතුරා යන හදවතක් තිබෙන පියතුමෙක් රැකියාවක් නැතිකමට මේ
අලූගෝසු රැුකියාව කළත් දරුවන් සමග නිතර නිතර පන්සල් යන තුණුරුවන් වඳින පුදන තාත්තා කෙනෙක්. ඒ තාත්තාගේ දුව වසන්ති
රැුකියාවක් නැති අහිංසක යුවතියක් කියලා. ඒ රූපමාලාව මවා පෙන්වනකොට ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ආවා මතකයි මට. පියා සමග පන්සල් ගිහින් වතාවත් කරන දර්ශනයකට අපේ රත්නා ලාලනී ජයකොඩි නංගිත් පෙනී සිටියා.
ගමගේ මහත්මයා අපට බොහෝ ඉහළින් වැජඹෙන ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්ය යන හැඟීම ඇති වෙන්න ඔහු ඉඩ සැලසුවේ නැහැ. හැබැයි ඔහු කෙරෙහි ලොකු ගෞරවයක් අපේ සිත් තුළ තිබුණා. මෙන්න මේ වගේ පසුබිමක් තුළ එකම ටීම් එකක් විදිහට අපි වැඩ කළා. චිත්‍රපටයේ සාර්ථකත්වය බලාපොරොත්තුවෙන්.
අයියා පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාව ගමගේ මහත්මයා කොයි තරම් ගැඹුරට පැහැදිලි කළා ද කිව්වොත් ඒ රූපගත කිරීමේදී මට ඉබේටම ඇඬුණා. ඒ වෙලාවේ අඬන එක නම් හොඳට ඇඬුවා. පේ්රක්ෂකයින්ගේ ඇස්වලට කඳුළු එන්නත් එක්ක.
ගීතාකාන්ති ජයකොඩිට නම් ඉතින් කවදාවත් හිර ගෙදරට යන්න ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා හිර ගෙදර තිබුණු ෂූටින්වලදී හොඳ අත්දැකීම් ටිකක් ලබා ගන්න පුළුවන් වුණා මට. හැබැයි හිරගෙදර හිටපු හිරකාරයින් එක්ක නම් මං කතා කරන්න ගියේ නැහැ බයට.
”කැලණි පාලම” වේදිකා නාට්‍යයෙන් ජනප්‍රියවෙලා හිටපු මාව පූජා චිත්‍රපටය තිරගත වුණාම තවත් ජනප්‍රිය වුණා.
ඒ වසරේ හොඳම නිළියටත් මාව නිර්දේශ වුණා. ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒ සම්මාන උළෙලේදී නැගී එන නිළිය හැටියට මාව සම්මානයට පාත්‍ර වුණා. අන්න ඒ වෙලාවේ තමයි ආචාර්ය ඞී.බී. නිහාල්සිංහ මහත්මයා කිව්වේ ”ගීතා ඔයා නම් මාරයි” කියලා. ඒ වචන ටිකත් මට තවත් සම්මානයක් වගෙයි. හැබැයි ධර්මසිරි ගමගේ මහත්මයා මට එදා සුබ පතලා කිව්වා මට පුදුමයක් නැහැ ගීතා.... මං දැනගෙන හිටියා ඔයාට සම්මානයක් ලැබෙනවා කියලා. ”පූජා” චිත්‍රපටයේ වසන්තිගේ චරිතය සාර්ථකව රඟපාන්න බොහෝ උපදෙස් ලබාදුන් ජෝ අබේවික්‍රම කියන මහා නළුවත් මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.