(සුජිත් හේවාජුලිගේ )
දූෂණ විරෝධී පනත සහ පොදු දේපළ පනත යටතේඅත්අඩංගුවට ගන්නා දූෂණවලින් මුදල් ඉපයූ දේශපාලඥයන් ඇතුළු රජයේ සේවකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරෙන හෝ සිරගත කෙරෙන කාලයේදී අඩු තරමින් බන්ධනාගාර බත් පතට සහ වෛද්‍ය පහසුකම් සඳහා වැයවන මුදල වත් ඔවුන්ගෙන් අයකර ගැනීමට නීති රීති කඩිනමින් ගෙන ආ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
එසේ නොවුණහොත් එම පිරිස සිරගෙවල්වලදී නඩත්තු කිරීම දැරීමට සිදුවන්නේද රටේ පොදු මහජනතාවට බව හෙතෙම සඳහන් කළේය එසේම එම සිරකරුවන් රජයේ ව්‍යාපෘතිවල වැඩ කටයුතු වලට යෙදවීමෙන්ද යම් ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බව පැවසූ මහාචාර්යවරයා චීනයේ එවැනි වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.
එසේම දූෂණ සහ අක්‍රමිකතාවලින් මුදල් හරි හම්බ කරන දේශපාලඥයන් ඇතුළු රජයේ සේවකයන්ගෙන් එම වංචා කෙරුණු මුදල් නැවත අය කර ගැනීමටද නව නීති වහා ගෙන ආ යුතු බව ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සිරකරුවකු වෙනුවෙන් දිනකට රුපියල් තුන්දහසක පමණ වියදමක් දැරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ආහාර ජලය වෛද්‍ය පහසුකම් ඇතුළු වෙනත් පහසුකම් වෙනුවෙන් මෙම මුදල වැය කෙරේ.

