හිමාලය තරණය කිරීමට ගිය අට දෙනකු මියයති


නේපාලයේ බටහිර ප්‍රදේශයෙන් හිමාල කඳුවැටිය තරණය කිරීමට ගිය කඳු නගින්නන් අට දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.  එම ප්‍රදේශයට හමාආ ප්‍රබල හිම කුණාටුවකට හසුවී ඔවුන්ගේ කූඩාරම ගසාගෙන යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.


 ගුර්ජා කඳුවැටියේ පිහිටි මෙම කඳවුරෙහි දකුණු කොරියානු කඳුනගින්නන් පස් දෙනකුගෙන්යුත් කණ්ඩායමක් හා නේපාල ජාතික මගපෙන්වන්නන් හතර දෙනකු සිට ඇති බව නේපාල පොලිසිය පවසයි.


හෙලිකොප්ටරයකින් එම ස්ථානයට ලඟාවූ මුදවා ගැනීමේ කණ්ඩායම් වාර්තා කර ඇත්තේ සුන් බුන් අතර අට දෙනකුගේ සිරුරු දක්නට ලැබුණු බවයි. කෙසේ වුවද ‍අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් යානය එම ස්ථානයට ගොඩබැස්වීමට නොහැකි වී ඇත.


එක් නේපාල මගපෙන්වන්නකු අතුරුදන්ව ඇති බව ද පොලිසිය පවසයි. තවත් මුදවා ගැනීමේ කණ්ඩායමක් ඉරිදා දිනයේදී යැවීමට සූදානම් කර ඇති බවද පැවසේ.


මියගිය අය අතර අමතර ඔක්සිජන් වායුව නොමැතිව ලෝකයේ උසම කඳු මුදුන් 14කට නැග ලෝක වාර්තා තැබූ දකුණු කොරියානු කඳු නගින්නකු වන කිම් චැන්ග් හූ ද සිටින බව පොලිසිය පවසයි.


 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)