
(චමින්ද වැවතැන්න)
පුද්ගලයකු අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නාවික හමුදාපති යළි සැප්තැම්බර් 10 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී,පී,ජී ප්‍රනාන්දු මහතා අද නියෝග කෙරිණ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු නාවික හමුදාපති වන දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න නමැත්තෙකි.
2010 අගෝස්තු මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී පොතුහැර පොලිස් පදිංචිව සිටිය දී අලව්ව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිටි ගනේරාළලාගේ ශාන්ත සමරවීර නැමැත්තා පැහැරගෙන දෑස් බැද වෑන් රථයකින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට රැගෙන ගොස් භූගත බංකරයක රදවා සිට තිබේ.
එවකට නාවික හමුවේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස සේවය කර ඇති දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න නැමැත්තා කොළඹ සිට ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට පසුව ගොස් තිබුණි.
එම අවස්ථාවේ දී අත් අඩංගුවට ගෙන භූගත බංකරයේ රදවා සිටි එල්,ටී,ටී,ඊ සමාජිකයන් යැයි කියන තරුණන් පිරිමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් සිට ඇති බවත් එම බංකරයට ද අලව්ව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිටි පුද්ගලයා ද යොමු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.
මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු 11 ක් අත් අඩංගුවට ගෙන ඉකුත් 30 වැනිදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී පළමු සැකකරුගේ සිට නව වැනි සැකකරු දක්වා ඇප මත මුදා හරින ලෙසත් 10 වැනි සැකකරු හා 11 වැනි සැකකරු වන හිටපු නාවික හමුදාපති දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කර තිබුණි.

