හිටපු තානාපතිට දඩ


ලන්ඩනයේ සම්බාහන කතකගේ පියයුරු මිරිකීයැයි වැරදිකරු වූ පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වන ටියුඩර් ගුණසේකරට (77) ලන්ඩනයේ ඕල්ඩ් බේලි උසාවිය දඩ ගැසූ බව ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය කියයි. ජූරිය පැය භාගයකටත් අඩු කාලයකින් ඔහු වැරදිකරු කළේය. ශ්‍රී ලංකාවේ අක්කර 25ක වත්තක සේවකයන් ද සමග ජීවත් වන ගුණසේකර බ්‍රිතාන්‍ය රජයේ නීති සහාය මත මේ නඩුවට මුහුණ දුන්නේය. ඔහු බ්‍රිතාන්‍යය රජයට වංචාවක් කර බදු ගෙවන්නාගේ මුදලින් එම නීති සහාය ලබා ගත්තේ දැයි පරීක්ෂණයක් අරඹන ලෙස නඩු තීන්දුවෙන් පසු විනිසුරු රාජ්‍ය නීතීඥ චාල්ස් වයිඩ් නියෝග කළේය. ‘මෙය බරපතළ පරීක්ෂණයක්. මේ මිනිහා පෝසතෙක් වගේ පේනවා. ඔහුට බ්‍රිතාන්‍ය බදුගෙවන්නන්ගේ මුදලින් නීති සහාය ලබාගෙන තිබෙනවා‘ යැයි විනිසුරු කීවේය. ගුණසේකර පැවසූයේ ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන පවුම් සියයකින් (රුපියල් 21000)ඔහු ජීවත් වන බවයි. තම බූදලය පුතාට දී ඇති බවත් ඔහු කීවේය. දරු දෙදෙනෙකුගේ පියකු වන ගුණසේකර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් විය. සුප්‍රසිද්ධ හයිස්ට්‍රීට් ජිම් ඇන්ඩ් ස්පා සම්භාහන ආයතනයේ දී පසුගිය මැයි මාසයේ මේ වරද කර ඇත. පවුම් සියයක් ගෙවා සම්භාහනය කරද්දී එක්වරම ඔහු ඇගේ පියයුරු අල්ලා ඇතැයි නඩුවේ කියැවිණි. ඔහුට පවුම් දහසක දඩයක් (රුපියල් 210000) ද, කාන්තාවට වන්දි වශයෙන් පවුම් 1000ක් (රුපියල් 210000)ද, නඩුගාස්තු වශයෙන් පවුම් 1250 ක්ද (රුපියල් 262500)ගෙවීමට නියම කැරිණි. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාස්තුව  පවුම් 4170 කට (රුපියල් 875700) වැඩි යැයි ද එම පුවත්පත කියයි. ටියුඩර් ගුණසේකර උසාවියේ තම වත්කම් පිළිබඳ බොරු කීවේයැයි ද සඳහන් විය. සිය මුණුබුරන් බැලීමට ලන්ඩනයට පැමිණි අවස්ථාවේ ඔහු මේ සිද්ධියට මුහුණ පෑවේය. ඔහුගේ නම ලිංගික අපරාධකරුවන්ගේ නාමලේකනයට ඇතුළු කරන ලෙසද විනිසුරු නියෝග කළේය.