ජනධිපතිවරණයට පසු දින (2015 ජනවාරි 09) රාත්‍රී දිවයිනෙන් පිටව ගිය හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අඟහරුවාදා (21) දිවයිනට එන බව කියතත් ඔහු පිළිගැනීමට නොයෑමට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බස්නාහිර පළාත් සභා සහ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ඇමෙරිකා පුරවැසියකු ද වන හිටපු ඇමැති අඟහරුවාදා පස්වරු 1.32ට පමණ කටුනායකට ළඟා වීමට නියමිත බවත්, එම වෙලාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, එම සාකච්ඡාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ගම්පහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග කියයි.
හිටපු ජනපතිවරයා ඉදිරි මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන්නැයි බල කරමින් පෙරමුණේ සිටින බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම සාකච්ඡාව සංවිධානය කරයි.
ගිය රජය සමයේ බලය අයුතු ලෙස භාවිත කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල විය. මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිරිස්ද චෝදනා කළේ හිටපු ජනපතිගේ පරාජයට හිටපු ඇමැති බැසිල් හේතු වූ බවයි.

