හිටපු ඇමැති පුතාට 29000ක් දඩ


නොසැලකිලිමත් ලෙස රිය පදවා කොළඹ නිදහස් මාවතේ දී රිය අනතුරක් සිදුකළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල තමාට එරෙහිව තිබූ චෝදනා පහටම වැරදිකරු බව අද (11) අධිකරණයේදී පිළිගත්තේය.

ඒ අනුව චෝදනා පහටම ඔහු වැරදිකරු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා ඔහුට රුපියල් 29000ක දඩ මුදලක් නියම කළ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රයද මුදා හැරීමට නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කැර තිබිණි.