හිටපු අයිජීලා මොනවා කළාදැයි උසාවිය වාර්තාවක් ඉල්ලයි


රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ නඩුව සම්බන්ධයෙන් 2009 වසරේ සිට මේ දක්වා සිටි පොලිස්පතිවරුන් නිසි ලෙස අධීක්ෂණය කර ඇත්දැයි විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය අද රහස් පොලිසියට නියෝග කළාය.

එම සිද්ධියට සැක පිට සිටින යුද හමුදා  බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමට ඔහුගේ නීතීඥවරුන් අද ඇප ඉල්ලා සිටි අතර වෛද්‍යවාර්තා ලැබෙන තෙන් ඇප ලබා දිය නොහැකි බව මහේස්ත්‍රාත් කීවාය.

එම සැකකරුට මිනී මැරීමට තැත් කිරීම යටතේ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ අතර මෙම නඩුව සම්බන්ධයෙන් පළ කළ එක්තරා වෙබ් අඩවියක් ගැන ලැබී ඇති නිර්නාමික ලිපියක සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කර වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය.

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට ලොතරැයි මණ්ඩලයෙන් දායකත්වයක් සපයන බව එම ලිපියේ සඳහන් වෙතියි අධිකරණයේදී කියැවිණි.

මහේස්ත්‍රාත් - ලියාපදිංචි නොකළ වෙබ් අඩවියකට රාජ්‍ය ආයතනයකින් මුදලක් ලබා දිය හැකිද?

රහස් පොලිසිය - බැහැ

විත්තියේ නීතීඥවරුන් - එලෙස ලබා දෙනවා නම් එය රාජ්‍ය මුදල් අවභාවිතයක්

වෙබ් අඩවියට දැන්වීම් දෙන්නේ කෙසේදැයි ලොතරයි මණ්ඩලයේ අධ්‍යක්ෂගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.