හිටපු අගවිනිසුරු අල්ලස් කොමිසම වර්ජනය කරයි


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අවංක භාවය ගැනත්, කොමසාරිස්වරුන් ගැන විශ්වාසය  නැති නිසාත් තමන් යළි එම කොමිසම හමුවේ පෙනී නොසිටින බව ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොමිසමට අද (4) දැනුම් දුන්නාය.

හිටපු අගවිනිසුරුවරිය අද (4) කොමිසම හමුවේ පැයක් පමණ කාලයක් පෙනීසිටියාය.

පෙර වතාවලදී තමන් මතු කළ විරෝධතාවලට කොමිසමෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද, කොමිසම තමා සම්බන්ධයෙන් අගතිගාමීව දේශපාලන වශයෙන් හිරිහැර කරතියි ද ඇය කියා සිටියාය.  

හිටපු අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු යෝජනාවකින් පසුව නිලයෙන් පහ කැරිණි.

කොමසාරිස්වරුන් දෙදෙනකු සම්බන්ධයෙන් තමන් මතු කළ මූලික විරෝධතාවට පිළිතුරු දෙනු වෙනුවට කොමිසම තමාට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට ක්‍රියා කර ඇතැයි ද ඇය කීවාය.

කොමිසම දේශපාලන චේතනාවෙන් තමාට හිරිහැර කිරීමට මුළු ක්‍රියාවලියම යොදා ගන්නා බව ඇයට සමීප ආරංචි කියයි. වත්කම් හෙළි නොකළැයි කොමිසම ඇයට එරෙහිව විභාගයක් පවත්වයි.

කොමසාරිස්වරුන් දෙදෙනකුට එරෙහිව මතුකළ විරෝධතා ගැන තීරණයක් දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු  මීට පෙර ද ඉල්ලා සිටියහ.

දැනට කරගෙන යන පරීක්ෂණ වලදී ඉදිරියට සිදු වන්නට ඇති දේ ගැන සඳහන් කරමින් රජයට අයත් පුවත්පතක ගිය සතියේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ද ඇගේ නීතීඥවරු කොමිසමෙන් ඉල්ලා සිටිති.

පසුගිය මැයි මාසයේ කොමිසම හමුවේ පැවැති පරීක්ෂණයේදී හිටපු අගවිනිසුරුවරියගේ නීතීඥ කණ්ඩායමේ ප්‍රධානියා වන ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ කොමසාරිස්වරුන් තිදෙනා ගෙන් දෙදෙනකු පක්ෂපාතීව කටයුතු කරන බවයි.

ඇය විරෝධතා ගොනු කරමින් කියා සිටියේ සෙලින්කෝ නඩුව විභාග වෙද්දී හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ට්‍රිලියම් නිවාස සංකීර්ණයෙන් තට්ටු නිවාසයක් මිලදී ගෙන ඇති බවයි.  ඔහු හා කොමිසමේ සභාපති බාලපටබැඳි මහතා අතර පවත්නා නෑකම නිසා ඔහු පක්ෂපාතීව කටයුතු කරන බවට ඇය කොමිසම හමුවේ කියා ඇත.

බාලපටබැඳි හා ජයන්ත වික්‍රමරත්න යන කොමසාරිස්වරුන් තමාට එරෙහි පරීක්ෂණ විභාග කිරීම සාධාරණ යුක්ති ධර්මයට හා නීතියේ ස්වාධිපත්‍යයට පටහැනි බව කියමින් හිටපු අගවිනිසුරුවරිය කරුණු දක්වා ඇත්තේය.

‘බාලපටබැඳි මහතා පක්ෂපාතී යැයි මා කියනුයේ හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා හා ඔහු අතර ඇති නෑ කම නිසාය. බාලපටබැඳි මහතාගේ පුත් ඉසුරු, සිල්වා මහතාගේ දියණිය කණිෂ්කා සමග විවාහ වී සිටිනවා.‘ යනුවෙන් ඇය ලිපියක් මගින් කොමිසමට දන්වා ඇත.

කොමසාරිස්වරයකු වන ජයන්ත වික්‍රමරත්න මහතා ඔහුගේ උසස්වීමක් සම්බන්ධයෙන්   ඉදිරිපත් කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම තමා අගවිනිසුරු සමයේ විනිශ්චයට භාජනය කළ විනිශ්චය මණ්ඩලයකින් ඉවත දැමූ බව කියන බණ්ඩාරනායක මහත්මිය ඒ නිසා ඔහු පක්ෂග්‍රාහීව කටයුතු කරන බව කියන්නීය.

වික්‍රමරත්න මහතාගේ බිරිය මාධ්‍යයට කළ ප්‍රකාශයකින් ඇයගේ අගතිගාමී බව පැහැදිලි වන්නේයැයි ද බණ්ඩාරනායක මහත්මිය කියා ඇත.

කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට ඇය සිය විරෝධතා ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කොමිසමේ සභාපති බාලපටබැඳි මහතා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් ‘රහස්‍ය භාවය‘ පිළිබඳ නීතිය උල්ලංඝනය කර ඇති බවයි.

බාලපටබැඳි, එන් ටී විමලචන්ද්‍ර හා ජයන්ත වික්‍රමරත්න යන කොමසාරිස්වරු ඇයට එරෙහි චෝදනා විභාග කිරීමට පත් කරනු ලැබ සිටිති.