හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කරන්න එපා යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති


(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු) 
 
 ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව පැවති පාර්ලිමේන්තු රැස්වීම්වල හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ කිරීම නවත්වන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

 
පසුගිය 14, 15, 16, 19, 21 සහ 23  දිනවල පැවති පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුනොවූ බවද ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් නව දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට යොමු කර ඇති ලිපියේ සදහන් වේ.
 
සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක එස්.බී දිසානායක, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය කතානායකවරයාට යොමු කර ඇත.
 
එම දිනවල හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි නිසා ඒවා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙස ද ඔවුන් කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
 
මෙම ලිපියේ පිටපතක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙතද යොමුකර ඇත.