හාල් පොල් එළවළු මස් මාළු ගිනි ගණන්


(සුජිත් හේවාජුලිගේ)

වෙළඳපොළේ සහල් පොල් එළවළු මාළු සහ මස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉතා විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් රට පුරා ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

විදුලි බිල වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන්ද හිතු හිතු පරිදි මෙසේ වැඩි කෙරුණු බව පාරිභෝගික සංගම් පෙන්වා දෙයි.

විදුලිබිල වැඩි කිරීමත් සමඟ සබන් සබන් කුඩු දත් බෙහෙත් සහ ෂැම්පු වර්ග යනාදී භාණ්ඩ වල මිල ගණන්ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් සිය පාරිභෝගික භාණ්ඩ හිතූ හිතු මිල ගණන්වලට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් රජය වහා මැදිහත්වී මිල නියාමනයක් ඇති කළ යුතු බව පාරිභෝගික සංගම් පවසයි.

එසේම වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් නීතිය රැහැනට කොටු කර ගැනීම සඳහා වැටලීම් වැඩි කරන්නැයිද පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.

මේ අතර බොහෝ ටියුෂන් පන්තිවල ගාස්තුද ඉතා විශාල වශයෙන් ඉහළ දැමීම හේතුවෙන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තාවේ.

බොහෝ පන්තිවල ගාස්තු රුපියල් 3000 සිට 6000, 7000 දක්වා වැඩිකර ඇති හෙයින් මේ සම්බන්ධයෙන්ද රජය මැදිහත් වී කිසියම් මිල නියාමනයක් ඇති කරන්නැයි මවුපියෝ ජනාධිපතිවරයාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරති.

ගෘහ ඒකකයක ජීවන වියදම අධික ලෙස වැඩිවීමට අධික ටියුෂන් ගාස්තු සහ පාසල් වෑන් රථ ගාස්තු ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති.