හාල් ගනන් යන්න හේතුව දේශීය සහල් සැපයුම අඩුවීමලු


දේශීය රතු කැකුළු සහල් මිල පසුගියට වසරට වඩා සීයට 38 කින් ඉහළ යද්දී ආනයනික පොන්නි සම්බා මිල සීයට 19කින් පහළ බැස ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.
 
කොළඹ හා තදාසන්න පෙදෙස්වල සහල් මිල ගණන් ඇසුරෙන් කළ සමීක්ෂණ ඇසුරෙන් මේ බව කියන එම ආයතනය දේශීය සහල් සැපයුම විශාල ලෙස අඩුවීම මීට හේතුව ලෙස දක්වයි.
 
ඊට අනුව රතු කැකුළු සහල් මිල පසුගිය වසරට වඩා සීයට 38.13 කින් ද සුදු කැකුළු සහල් මිල සීයට 37.09 කින් ද ඉහළ ගොස් තිබේ. නාඩු අංක 1 සහල් මිල සීයට 25.27 කින් ද අංක 2 සහල් මිල සීයට 27.11 කින් ද ඉහළ ගොස් ඇත. 
 
අස්වැන්න නෙලීම් ආරම්භ කිරීම නිසා අම්පාර ප්‍රදේශයේ සහල් මිල නොවෙනස්ව පවතින්නේ යැයි ද අඩුම සහල් මිල ගණන් දෙහිඅත්තකණ්ඩියෙන් වාර්තා වන්නේ යැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය වැඩිදුරටත් පවසයි.