හාරකෝටියක රන් ආභරණ ගෙන ආ සිංගප්පූරු ජාතිකයකු අල්ලයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක්  (4,30,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ එරට ගුවන් මගියෙකු  අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 ඔහු 45 හැවිරිදි සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයෙකි .

ඔහු (17) අද අලුයම 2.30ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ සහ ඔහු හැද සිටි කළිසමේ සාක්කු වල අත් පළඳනා 229ක්, මාල 175 ක්, තැල්ල සහිත උත්සව අවස්ථාවලදී පළදින මාල 88 ක්, වළලු 16 ක් සහ පෙන්ඩන්ට් 06 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. මෙම ස්වර්ණාභරණ තොගයේ මුළු බර කිලෝ ග්රෑම් 07 ග්රෑම් 212 ක් බවත්, මෙය  ගුවන් තොටුපොළ ඉතිහාසයේ සිදු කළ විශාලතම ස්වර්ණාභරණ වැටලීම බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය.

මෙම සිංගප්පූරු ජාතිකයා මෙයට පෙර සිව් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවත් සහ  ඔහු මෙම  ස්වර්ණාභරණ තොගය සිංගප්පූරුවේ සිට  ශ්‍රී ලංකාවට  ප්‍රවාහන කළ පුද්ගලයා බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී. ඒ.ධනපාල මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.