හයිකෝප් නඩුවෙන් පොන්සේකා නිදහස්


හයිකෝප් නම් සමාගමකින් යුද හමුදාවට උපකරණ කිහිපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු කළ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එම චෝදනා යටතේ යළි නඩු පැවැරිය නොහැකි යැයි ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා පොන්සේකා සියලු චෝදනාවලින් නිදහස් කෙළේය. නීතිපති විසින් පැවැරුණු නඩුව ද ඉවත දැමීය. හයිකෝප් සමාගමේ ධනුන තිලකරත්නට (පොන්සේකාගේ බෑනාට) එරෙහිව නඩුව ඔහු නොමැතිව මැයි තුන් වැනි දා විභාගයට ගැනීමට ද නියෝග කැරිණි.  යුද හමුදාවට ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර උපකරණ කිහිපයක් විකිණි යැයි ධනුන තිලකරත්න, වෙලින්ටන් ඩිහොට් හා සරත් පොන්සේකා මේ නඩුවෙන් චෝදනා ලැබූහ. එක් පුද්ගලයකුට එරෙහිව එකම චෝදනා යටතේ දෙවරක් නඩු පැවැරිම අසාධාරණ බව පිටු 25කින් යුත් නඩු තීන්දුවේ දැක්වේ. දෙවැනි යුද්ධාධිකරණය පොන්සේකාට මාස තිහක සිරදඬවමක් නියම කෙළේය. පොන්සේකා මේ වන විට දෙවසරක් සිරදඬුවමක් ගෙවා ඇත.