හමුදාවෙන් ගෙයක් ලැබුණත් සැමියා තවම දර කපයි


තම සැමියා  එදා මෙන් අදත් කැලෑවට ගොස් දර කපා විකුණා උපයාගන්නා සුළු මුදල නොවන්නට සිය බාල දියණියන් දෙදෙනාගේ අධ්‍යාපනයද නවතා දමන්නට  සිදු වෙතියි සෞදියේ ගෘහ සේවයට ගොස් ගෙළ සිඳ මරා දැමුණු රිසානා නෆීක් ගේ  මව ෂේලා උම්මදු  රිෆිනා මහත්මිය පැවසුවාය.

බොරු වයසක් දමා  සෞදියේ රැකියාවකට යැවු රිසානා  වැඩ කළ නිවසේ  ළදරුවකුට  කිරි පොවන්නට යද්දී  ළදරුවා මරණයට පත්විය.එය මිනී මැරුමක් යැයි සෞදි ඉහළ අධිකරණය තීරණය කළේය. පසුගිය ජනවාරී 09 වැනිදා ඇයගේ ගෙළ කපා මරා දැමිණී.

රිසානා නෆික් පදනමේ වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයෙන් පසු ඇය මෙසේ කීවාය.මුතූර් අන්නාහාර් බාලිකා විද්‍යාලයයේදී මේ උත්සවය පැවැත්විණි.

සෞදියේ ගෘහ සේවයේ යෙදී සිටියදී  හිංසනයට ලක්වු මව්වරුන්  තිදෙනකුගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය හා මාධ්‍යවේදී  එම් එස් එම්  නුර්දීන් මහතා විසින්  රචිත ‘රිසානා නෆීක් දැයේ දැරිය ‘ නැමැති කෘතියද මෙහිදී එළි දැක්විණි.

රිසානා නෆීක්ගේ මව මෙසේද කීවාය.

මගේ දුව මරා දැමුවාට පසු  විශාල පිරිසක් අපේ  ගෙදරට ආවා.දේශපාලකයින්,ධනවතුන් ඒ අතර සිටියා.ජනාධිපතිතුමා රුපියල් ලක්ෂ දහයක් එවා තිබුණා.ලැබුණු මුදල් වලින් ලක්ෂ 15 ක් දී කුඹුරු අක්කර හතරක් ගත්තා.මේ කන්නයේදී වී වගා කරන්න බලාපොරොත්තු වෙනවා.ඇතැමුන් ලක්ෂ කෝටි ගණනක්  දුන්නා කිව්වට මගේ බැංකු පොතේ තියෙන්නේ රුපියල් පනස්දාහයි සමහරු දුන් චෙක් පත් බැංකුවට දැම්මාට සල්ලි නෑ,මට දෙන්නැයි සමහරු දුන් මුදල් මිටමොලවාගත්ත අයත් සිටිනවා. ඒ දිනවල නැති නෑදෑයන් අපේ දුක සැප බලන්න ආවා .ගමේ අය නම් තවමත් උදව් කරනවා යුද හමුදාවෙන් හොඳ ගෙයක් ඉදි කරනවා‚

රිසානා නෆීක් පදනමේ ජාතික සංවිධානයේ  සංවිධායක එම් එස් මහරුෆ් මහතා පැවසුයේ ශ්‍රී ලාංකික විදේශගත පිරිසගේ පවුල්වලට හා  ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනී සිටීම  සිය  සංවිධානයේ  අරමුණ බවයි.

රිසානා නෆීක් සිරගතව සිටියදී ඇයගේ දුක සැප සොයා බැලු දන්ත වෛද්‍යවරියක වන කිෆායා ඉස්ටිකල් මහත්මිය,ප්‍රදේශයේ  පොලිස් හා යුද හමුදා නිලධරයෝද ,ආගමික නායකයෝද හා පාසල් දරුවෝද මෙම  අවස්ථාවට එක්ව සිටියහ.