හමුදාපතිට හොරෙන් ජනපති හමුවෙලා


යුද්ධයේ අවසන් දිනවල සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ බලපෑම අනුව ශ්‍රීලංකා රජය විශේෂ අධිකරණ ක්‍රමයක් පිහිටවීමට විධි විධාන යොදාගෙන යද්දී හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධරයන් නව දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවීම ආරක්ෂක හා යුද හමුදා ප්‍රධානීන්ගේ අමනාපයට හා බලවත් නොසතුටට හේතුවී ඇතැයි දැනගන්නට ඇත.

2009 මැයි මාසයේ  කොටි සංවිධානය සමග පැවැති අවසන් සටනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරමින් සතුරා පරාජය කළ පිරිසක් මීගමුව හෝටලකදී ජනපති හමුවූ බව දැනගන්නට ඇත.

ජනපති මීගමුවේ වෙනත් රාජකාරියකට ගොස් සිටියදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු නිලධරයෙක් ඇමැතිවරයෙකුගේද උදව්වෙන් එම නම දෙනා හා සේනාධිනායකයා වන ජනපති අතර හමුවක් සංවිධානය කර ඇති බව දැනගන්නට ඇත.

මේ හමුව ගැන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෝ යුදහමුදාපති ලුතින්න ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හෝ දැන නොසිටි බවද දැනගන්නට තිබේ.

ජනපති හමුවූ නිලධරයින් අතර වයස අවුරුදු 55 සම්පූර්ණ එමනිසා විශ්‍රාම ගැනීමට නියමිත කිහිපදෙනකුම සිටි බවද හමුදා ආරංචි කියයි.

විදේශ විනිසුරුවරුන්ද සහභාගී වන යාන්ත්‍රණයක් මගින් යුද අපරාධ සෙවීමේ උත්සාහයක් ඇතැයි විපක්ෂයෙන්ද පාර්ලිමෙන්තුවේදී කිහිපවරක්ම චෝදනා නැගිණි.රනිල් වික්‍රමසිංහ අගමැති ඒ අවස්ථාවලදී පැවසූයේ දේශීය යාන්ත්‍රණයකින් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ශ්‍රීලංකාවේ පරමාධිපත්‍යට එරෙහි කිසිවක් සිදුනොකරන බවද රජය කියයි.

හමුදා සම්ප්‍රදාය අනුව හමුදාපතිගේ හෝ ආරක්ෂක ලේකම්ගේ හෝ අවසරය නොමැතිව මෙවැනි සාකච්ඡාවලට සහභාගීවීම සපුරා තහනම් බව කියති.

මෙම හමුවීමෙන් පසුව හමුදාපතිවරයා විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කළේය.එයින් කියැවෙනුයේ ආරක්ෂක අමාත්‍යංශයට හෝ අදාළ ආයතනයන්හි ඉහළ පුද්ගලයින් හමුවීමට හෝ පෙර යුද හමුදාපතිගේ අවසරය ලබාගත යුතු බවයි.

යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මේ සිද්ධිය ගැන ජනපති හමුවී කරුණු පැහැදිලි කර ඇතැයිද ඔවුන් එම හමුව සඳහා තමාගෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරය ලබා නොසිටි බව කියා ඇතැයිද සඳහන්ය.

මේජර් ජනරාල් ජගත් ඩයස්,මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ,ඇජුටන් ජෙනරාල් හා ශ්‍රීලංකා කාලතුවක්කු බල ඇණියේ කර්නල් කොමඩාන්ට් මේජර් ජනරාල් කමල් ගුණරත්න,මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා,මේජර් ජනරාල් නන්දන උඩවත්ත,මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා,මේජර් ජනරාල් ජගත් අල්විස් හා මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා,මීගමුවේ හෝටලයකදී ජනපති හමුවූ අය බව දැනගන්නට ඇත.

මේ හමුව සිදුවූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බරයේ සම්මත කළ යෝජනාව අනුව විශේෂ උසාවි පිහිටවීමේ ක්‍රියාවලිය  ගැන යුද හමුදාව ක්‍රියාකරමින් සිටියදී බවද වාර්තා වේ.

සිදුවීයැයි කියන යුද අපරාධ විමර්ශණය සඳහා වන නීතිරීති ලබන වසරේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිත බව ආරංචි මාර්ග කියයි.

මේ සඳහා විශේෂ මහාධිකරණ පිහිටුවීම රජයේ අදහස බවද දැනගන්නට ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීවීම සඳහා මෝල්ටාවට යෑමට පෙර මන්ත්‍රීවරුන් පිරිසක් සමග මේ සම්බන්ධයෙන් මූලික වශයෙන් කතා කර ඇතත් වැඩි විස්තර කිසිත් කියා නැතැයිද පැවසේ.

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති සමන්තා පවර් පසුගියදා පැමිණියේත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් සෙයිද් අල් රාද් අල් හුසේන් කුමරු ලබන පෙබරවාරියේදී ශ්‍රීලංකාවට පැමිණෙනුයේත් ජිනීවා යෝජනා ප්‍රගතිය සොයාබැලීමට බවද දැනගන්නට ඇත.