මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා සාමාජිකයින් සිව්දෙනා දැනටමත් නීත්‍යනුකූල ලෙස අධිකරණයට ඉදිරිපත් ඇති හෙයින්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ගැන තීරණ ගැනීමට ජනවාරි 14 වැනිදා තෙක් එම හමුදා සාමාජිකයින්ගේ බිරියන්ට කල් දීමට අභියාචනාධිකරණය අද (19) තීරණය කළේය.
ඒ අනුව එම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව එදිනට අධිකරණයට දැනුම් දීමට නියමිතය.
අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපූස් රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරියන් ගොනු කළ රිට් පෙත්සම් හතර අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ කැඳවිණි.
ඔවුන් සිව්දෙනා මේ වන විටත් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රනිල් සමරසූරිය මහතා අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව දැනටමත් පෙත්සම්කාරියන් ඉල්ලා ඇති සහන ලැබී ඇති බව අධිකරණය හමුවේ සඳහන් විය.
ඉදිරි පියවර ගැන පෙත්සම්කාරියන් ගෙන් උපදෙස් ලබා ගෙන ධිකරණයට දැනුම් දෙන ලෙස පෙත්සම්කාරියගේ නීතීඥවරයාට නියම කැරිණි.
අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් ගේ බිරින්ඳෑවරුන්වන ටී.සුදර්ශනී, පී.නදීකා,පී.නියෝමි සහ එම්.කුමාරරත්න විසින් ගොනු කැරුණු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලීසි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, එහි සමූහ කොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ෙජ්.වී.නිරෝෂාන් සිල්වා, එහි සහකාර පොලිස් අධිකාරී ෂානි අබේසේකර,ආරක්ෂක ලේකම් ,පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාරියන් වෙනුවෙන් නීතීඥ රනිල් සමරසූරිය සිටියේය. පෙත්සම ජනවාරි 14 වැනිදා යළි කැඳවේ.

