හමුදා උසාවියට මාධ්‍යවේදීන් කැඳවීමට විරෝධය


පසුගිය අගෝස්තු 01 වැනි දා පිරිසිදු ජලය ඉල්ලමින්  වැලිවේරිය - රතුප්සවල පැවැති ජනතා උද්ඝෝෂණයට සහ එය වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන්ට යුද හමුදාව විසින් අමානුෂික ලෙස වෙඩි තබා ප්‍රහාර එල්ල කොට පාසල් ශිෂ්‍යයින් දෙදෙනකු ඇතුළු නිරායුද වැසියන් තිදෙනෙකු ඝාතනය කොට තිබියදී ආණ්ඩුව සහ හමුදාව තෙවැනි පාර්ශවයක් වෙත ‍චෝදනා එල්ල කරමින් ජනසමාජය නොමග යවතියි ජනමාධ්‍ය සංවිධාන හතක් නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ජනමාධ්‍ය සංවිධාන එකතුව වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි මහතා නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශ්වය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය එම සංවිධාන හතයි.

‘ආණ්ඩුව එසේ කිසිදු වගකිවයුතු සාධාරණ පරීක්ෂණයක් සිදුනොකර කල් මරමින් සිටියදී මේ සම්බන්ධයෙන් සාක්කි ලබාදෙන ලෙස හමුදාව අභ්‍යන්තරයේ පැවැත්වෙන යුද හමුදා පරීක්ෂණ උසාවියක් වෙත ජනමාධ්‍යවේදීන් කැඳවීම ශ්‍රී  ලාංකික ජනසමාජය මිලිටරිකරණයට ලක්කිරි‍මේ තවත් බරපතල නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව අපගේ නිරීක්ෂණයයි. ‘

‘එන්.ජේ.සී. ඩයස් නැමැති ‍මේජර් ජනරාල්වරයකුගේ අත්සනින් යුතුව සාක්කිකරුවෙකු වෙත යවන සිතාසිය යනුවෙන් නම් කළ ලිපියක් මගින් සිවිල් පුරවැසියන් වන ජනමාධ්‍යවේදීන් මෙලෙස හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමට අ‍පගේ විරෝධතාවය තරයේ පළකරන අතර එලෙස සිවිල් පුද්ගලයින් වන ජනමාධ්‍යවේදීන් හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමට බලය ඇත්තේ කවර නීතියක් යටතේදැයි අපි අදාළ බලධාරින්ගෙන් ප්‍රශ්න කරන්නෙමු. ‘

‘එහෙයින් ආණ්ඩුවට අපි බලකර සිටින්නේ මෙලෙස ජන සමා‍ජය නොමග යවමින් බොරු රඟපෑම් නොකොට වහාම මේ පිළිබඳව සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. ‘