හම්බන්තොට ළමා රෝග ඒකකය ලෙඩ වෙලා


(සනත් ගමගේ)

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ශල්‍ය වෛද්‍ය සේවා හා ළමා රෝග ඒකක ඉදිරි සතියේ නවතින තත්ත්වයට පත් වි ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරිමේ කටයුතු සිදුකළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු පසුගිය සතියේ වසර 20 ක සේවා කාලය නිමකර සේවයෙන් ඉවත් ගොස් ඇත.

දැනට රෝහලේ සිටින එකම ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ ද සේවා කාලය වසර 55 සම්පූර්ණවීම නිසා විශ්‍රාම ගැන්වීම ඉදිරි සතිය‍ෙදී සිදුවීමට නියමිතව ඇත.

එසේ සිදුවන විට මහ රෝහලේ හදිසි සැත්කම් සියල්ල නැවතීමට සිදුවේ.

දැනටමත් එක් ශල්‍ය වෛද්‍යවරයකුගෙන් පමණක් අවශ්‍ය සේවය ජනතාවට ඉටුකරමින් පවතින අතර දෙදෙනාම අහිමි වීමෙන් සියළුම සැත්කම් කටයුුතු කිරීමට මාතර, කරාපිටිය රෝහල් කරා රෝගීන් මාරුකර යැවීමට සිදුවනු ඇත.

එමෙන්ම ළමා රෝග ඒකකයේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාගෙන් එක් අයකු මේ වනවිට සේවයෙන් ඉවත්ව ගොස් ඇති අතර ඉතිරි වෛද්‍යවරුන් දෙදෙනාගෙන්ද එක් අයකු ද විදේශ ගතවීමට නියමිතව ඇත.

මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුරංඟ උබේසිංහ මහතාගෙන් කළ විමසීමක දි ඒ මහතා කියා සිටියේය.

ශල්‍ය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින අර්බූදකාරි තත්ත්වය සම්බන්දව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරින් දැනුම්වත් කළා.

ඉදිරි සති කිහිපයේදී කිසියම් විසඳුමක් ලැබීමට බොහෝ විට ඉඩකඩ තිබෙනවා.

එසේ සිදුනොවුන හොත් ශල්‍යකර්ම සඳහා රෝගින් මාතර, කරාපිටිය රෝහල් කරා යොමු කිරිමට සිදුවෙනවා. මින් ජනතාවට යම් අපහසුතාවයක් විදින්නවන බව මා පිළිගන්නවා.