හම්බන්තොට කර්මාන්ත පුරය වෙන දිහාවකට ගෙනයන්නත් පුළුවන්


හම්බන්තොට කර්මාන්ත පුරයට ඉදිකිරීමට විරුද්ධ වන්නේ නම් එය රටේ වෙන පළාතකට ගෙන යා හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


පාර්ලිමේන්තුවේදී පොදු විපක්ෂය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.
“ජනපතිවරයාත්  කර්මාන්ත පුරය පොළොන්නරුවේ ඉදිකිරීමට කැමති වෙලා තියෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල හා එස්.බී දිසානායක අමාත්‍යවරුන් පවා එය මහනුවර හෝ නුවර එළියේ ඉදිකිරීමට කැමති වෙලා තියෙනවා“


පොදු විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුයේ මේ සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ මත පමණක් හම්බන්තොට ඉඩම් තෝරන බවයි.


මෙම කමිටුව අමාත්‍ය සාගල රත්නායක හා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මූලිකත්වය දරන බවත් මහින්ද අමරවීර හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරුන් එහි සමාජිකයන් බවත් අගමැතිවරයා කීවේය.
කර්මාන්තපුරය සම්බන්ධ සියලුම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා විවාදයක් පවත්වන බවත් පැවසු අගමැතිවරයා සෙනසුරාදා හම්බන්තොට ඇති වූ සිදුවීම පොලිස් වාර්තාව නිකුත් කළ පසු ඒ ගැනද සාකච්ඡා කළ හැකි බවද පැවසීය.