හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරයි


(තිළිණි ද සිල්වා)

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කෙරෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

දෙසැම්බර් 31 වැනිදා දක්වා වයස අවුරදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණවීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන් අධිකරණ අමාත්‍යංශය වෙත ඉල්ලුම් පත් යොමු කිරීමට අවශ්‍ය නොවන අතර මාර්තු 31 වැනිදායින් පසු මුල් පත්වීමේ කාලසීමාව හෝ සේවා දීර්ඝ කිරීම අවසන්වන ඇති හදිසි මරණ පරීක්ෂකවරුන්ටද යළි ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමකින් තොරව මෙම වසර අවසන් වනතෙක් සේවය කිරීමේ අවස්ථාව හිමි වේ.

කෙසේ වෙතත් එම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් සේවා දීර්ඝ කිරීම සඳහා වන ඉල්ලුම් පත්‍ර සාමාන්‍ය විධිවිධාන පරිදි අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බව ද අධිකරණ අමාත්‍යංශය දැනුම් දෙයි.

මේ අතර විනය හේතුන් හෝ වෙනත් හේතූන් මත සේවා දීර්ඝ ලබා නොදෙන බවට ලිඛිතව අමාත්‍යාංශය විසින් දැනුම්දී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බවද සඳහන්ය.