හතර තුන කිරීමට එරෙහි සටන දිගටම


සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර තුන දක්වා කප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති සාමාජිකයෝ හා විශ්ව විද්‍යාල සිසුහු අද කොළඹ ජාතික රෝහල අසළ සිට මරදාන හරහා කොටුව දුම්රිය නැවතුම්පොළ දක්වා පෙළපාළියක් ගියහ.

සෞඛ්‍ය සේවයේ වෘත්තිය සිමිත රැසක් ද, සෞඛ්‍ය නොවන වෘත්තීය සමිති ද, විශ්ව විද්‍යාල සිසුහු සහ දෙමාපියෝ ද ඊට එක්වූහ.

කොටුව දුම්රිය නැවතුම්පොළ අසළ සම සෞඛ්‍ය සිසුන් සත්‍යග්‍රහය  කරන මණ්ඩපය අසල දී වෘත්තීය සමිති නායකයෝ පිරිස ඇමතූහ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය මහතා-

‘කප්පාදු කළ සම සෞඛ්‍ය පාඨමාලාව වසර හතර දක්වා දිගු නොකළොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යන්න ලෑස්තියි. හෙද සේවාවේ පුරප්පාඩු 15,000ක් තියෙනවා. උපාධිගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තැන් තැන්වල ඉන්නවා. ඔවුන් මේ පුරප්පාඩුවලට බඳවාගත්තේ නැහැ තාම.‘

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා -

‘මේ ශිෂ්‍යයන් දින 155ක් පාරේ වාඩි වෙළා ඉන්නවා. ඒත් මේ ළමයින්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පාලකයන් අසමත් වෙලා.

තරුණ සමුළු තියන ආණ්ඩුව තරුණයන්ට සලකන්නේ මෙහෙමයි. මේක සිසුන්ගේ සාධාරණ ප්‍රශ්නයක්. මේකට සෞඛ්‍ය නොවන වෘත්තීය සමිතිත් සම්පූර්ණ සහාය දෙන්න තීරණය කළා.‘

අන්තරයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා -

‘මීට දින 155කට සිසුන් සත්‍යග්‍රහය පටන් ගනිද්දී බලධාරීන් හිතන්න නැතිව ඇති මේක මෙච්චර දුර දිග යයි කියලා.  මෙහෙම ගැටළුවක් තියෙද්දී සම සෞඛ්‍ය සිසුන්ට විභාගය ලියන්න එන්න කියා දන්වා තිබෙනවා. කප්පාදු වුණු පාඨමාලවක විභාග වැඩක් නැති නිසා අපේ සිසුන් ඒ විභාග ලියන්නේ නැහැ.

මේ සටන ජයග්‍රහණය කරනතුරු අපි අරගල කරනවා කියන පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා. ශිෂ්‍යයන්ට බැටන් ප්‍රහාර දුන්නා. ඔළු පැළුවා. දැන් ශිෂ්‍යයන් විතරක් නෙමෙයි, ශිෂ්‍යන් එක්ක අත්වැල් බැඳගෙන වැඩ කරන ජනතාවත් ඉන්නවා.‘