සෞදි නිවසකින් පැන්න දෙන්නෙක් ගැන පැමිණිලි


සෞදියේ නිවෙසකින් පැන ගිය බව කියන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞදි රියාල් 22000ක් (රුපියල් 743404.20)  අවශ්‍ය බව එරට අල්  රියාද් පුවත්පත කියයි.

මේ ශ්‍රමිකයන් දෙදෙනා සේවය කළ නිවසින් හොරෙන් පැනවිත් ඇති බවට නිවෙස් හිමියා විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

සිය පැමිණිල්ලෙන් ඔහු කියා ඇත්තේ ගිවිසුමකට අනුව මේ දෙදෙනා තම නිවසේ රැකියා සඳහා පැමිණි බවයි. ඔවුන් එම ගිවිසුම කඩ කර පැන ගොස් ඇති බව ද ඔහු කියා ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ දෙදෙනා රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සිටින බවයි. ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් ගිවිසුම කඩකරමින් හොරෙන් පැන යාම සහ ලියකියවිලි සඳහා වැය වන මුදල ගෙවිය යුතු බවත්, එම මුදල එක් අයකුට රියාල් 11000ක් බවත් එම මාධ්‍ය වාර්තා කරයි.