සෞදි දංගෙඩියෙන් බේරී ආ රාණි බලන්න තලතා යයි


වසර දෙකක කාලයක් සෞදි අරාබියාවේ සිර ගෙදරක කල් ගෙවූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වූ ගලේවෙල කොලොන්ගොල්ලේ එම් .රාණි (29) පසුගියදා යළි ලංකාවට පැමිණියාය.

එක් දරු මවක වන ඇයගේ සුවදුක් සොයා බැලීම සඳහා විදේශ සේවා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ඇයගේ නිවසට පැමිණියාය. රාණි මහත්මියට ඉදිරියේදී ජිවත් වීමට අශ්‍ය පහසුකම් සලසා දීමටද ඇමතිනිය පොරොන්දු වුවාය .

ඇය සේවය කළ සෞදියේ අල්ගුරියාන්හි  නිවසේ සිටි මාස 9ක දරුවකු සුප්පුවක් උගුරේ සිරවී මියයාමේ සිද්ධියකට රාණි එරට පොලිසියේ අත්අඩංගුවට පත් වූවාය. ඒ ඇගේ හාම්පුතුන් පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය. රාණි දරුවා මැරූ බවට ඔවුහු චෝදනා කරති. හාම්පුතුන් පොලිසියට දන්වා ඇත්තේ දස වසරක් හිරේ දමා ඇගේ ගෙල කපා මරා දමන ලෙසයි යනුවෙන් ඇය කියන්නීය.

තමා 2014 සැප්තැම්බර් මාසයේ ගලේවෙල පොලිසිය ආසන්නයේ පවත්වාගෙන ගිය ලියාපදිංචි නැති ආයතනයකින් සෞදි ගිය බවද එම නිවසේ දරුවන් 6 දෙනකු බලාගත් බව ද 2014 නොවැම්බර්  මාසයේ දී එම සිදුවීම වූ බවද ඇය කියන්නීය. කුඩා දරුවාට බෝතලයකට සුප්පුව ගසා වතුර ලබාදී සාලයේ වැඩ කරමින් සිටියදී දරුවා මියගොස් තිබුණු බවත් එදා සිට තමන් එරට සිරගෙදර සිටි බවත් ඇය කීවාය.

තමන්ට ජීවිතය බේරා ගැනීමට ලක් රජය විශාල සහයෝගයක් ලබාදුන් බවද ඇය සඳහන් කළාය. රාණි ගේ මව කිවේ සියලු දෙනාට පින් සිදුවන්නට දියණිය ලැබුණු බවය. රාණි ගෘහ සේවයට යැවූ පෞද්ගලික රැකියා ආයතනය ඇයව ගෙන්වා දීමට අවශ්‍යනම් ඉඩම හා නස විකුණා සල්ලි ලබාදෙන්නැයි ඉල්ලූ බවද ඇගේ මව කීවාය.

පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා එරට තානාපති කාර්යාලයේ නිලධාරීන්ටත් ලක් රජයේත් දැනුම් දීම සමග තම අමාත්‍යංශය මැදිහත් වී  රාණි ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවූ  බව තලතා අතුකෝරල ඇමැතිනිය කීවාය .

විදේශ ගෘහ සේවය සදහා යන සියලු දෙනා අනිවාර්යයෙන් රජයේ ලියාපදිංචි විය යුතු බව ද කී ඇමැතිවරිය  මින් ඉදිරියට විදේශ රැකියා උප නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රට යැවීම සම්පුර්ණයෙන් තහනම් කැරෙන බවද කීවාය. මේ ආකාරයෙන් ක්‍රියා නොකළහොත් අප රට මිනිස් ජාවාරම් කරන රටක් ලෙස ලෝකයේ හැඳින්වීමට ඉඩ ඇති බවත් එය  විශාල අනතුරක් ඇතිවීමේ අවදානමක් බවද ඇමැතිවරිය සඳහන් කළාය.

DSC05223 DSC05228 DSC05231 DSC05255