සෞදි ගිය ගමන් තිදෙනක් මරු සමග යති


සෞදි අරාබියේ ජෙඩා කලාපයේ තායිෆි හි  දී අනතුරකින් ලංකාවේ  කාන්තාවෝ තිදෙනෙක්  මරු මුවට පත් වුහ.

ගම්පහ වෑබඩ පස්යාල ආචාරිලාගේ පද්මා රංජනී (55), කඩවත  සමරතුංග මුදියන්සේලාගේ සෝමලතා (56), හා කසීනා  උම්මා අබ්දුල් හමීඩ්(52) යන එම තිදෙනාය.ඔවුහු මරදානේ  ආයතනයකින්  එහි රැකියාවකට ගියහ.

පිරිසිදු කරීමේ සෙවිකාවන්  ලෙස  ශ්‍රී ලංකාවේ සිට  රැකියාවට පැමිණ ජෙඩා ගුවන් තොටුපළේ සිට  වාහනයකින් ගමන් කරමින් සිටියදි  තායිෆි මක්කම අධිවේගී මාර්ගයේ දී  මේ අනතුර සිදු විය.

වාහනය පදවාගෙන  පැමිණි බංගලිදේශ ජාතික රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මුස්ලිම් කාන්තාවගේ මෘත දේහය  මිහිදන් කළ අතර  අනිකුත් කාන්තාව දෙදෙනාගේ  මෘත දේහයන්  තායිෆි  හෙරා රජයේ රෝහලේ  තැන්පත්කර ඇති බව ජෙඩා කොන්සියුලර් කාර්යාලය පවසයි.

නීතිමය කටයුතු නිම කර  සිරුරු ශ්‍රී ලංකාවට පිටත්කර හැරීමට කටයුතු කරන බව  තානාපති කොන්සියුලර් කාර්යාලය පවසයි.මරදානේ රැකියා එජන්සියකින්  ඔවුන් පැමිණි බව දැනගන්නට ඇත.