(ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට)
සෞදි අරාබි රජය ලබාදී ඇති පොදු සමා කාලය වෙනුවෙන් අනවසරික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ කරන බව සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසිය.
මෙම සහන කාලය තුළ අනවසරයෙන් එරට රැදී සිටින විදේශිකයින්ට නිත්‍යානුකුලව තම මවුබිමට පිටත්ව යාමට අවස්ථාව ලබා දී ඇත.එහි උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලයට පැමිණෙන සියලු පුරවැසියන් තම සන්තකයේ ගමන් බලපත,එහි අංකය හෝ ජාතික හැදුනුම් පත් අංකය ඇත්නම් එය පහසුවක් වන බව ද එම කාර්යාලය පවසයි.
තාවකාලික ගමන් බලපතක් නිකුත් කරනු ලබන්නේ ඔහුට හෝ ඇයට පොදු සමා කාලය මගින් ලැබෙන වරප්‍රසාද මත සුදුසුකම් ඇත්නම් පමණක් බවද එම කාර්යාලය කියයි.
යම් වරදක් සදහා පොලිස් පොතක සටහන් වී නිදොස් කර නැති හෝ අධිකරණයකින් ඇප මත හෝ කිසියම් වරදකට ආරක්ෂක අංශ විසින් වරෙන්තු ලබා සිටින අයෙකුට පොදු සමා කාලය මගින් මවු බිමට යාමේ වරප්‍රසාදය හිමි නොවෙන බව එම කාර්යාලය කියයි.
සෞදි රියාල් 190 මුදලක් ගෙවීමෙන් ලබාදෙන තාවකාලික ගමන් බලපත ලබා ගත හැකි බවත් මෙම කටයුතු එක් දිනක් තුළ සිදු නොවන බැවින් තානාපති කාර්යාල පරිශ්‍රයට පැමිණෙන කිසිවෙකුත් තම බඩු භාණ්ඩ හෝ ගමන් මලු කිසිවක් රැගෙන එමෙන් වලකින ලෙස තානාපති කාර්යාලය පවසයි.

