ආහාර සඳහා මස් වර්ගයන් තෝරා ගැනීමේදී යුරෝපයේ සෙසු රටවලුත් එංගලන්තයත් අතර පැහැදිලි වෙනස්කමක් දක්නට ලැබෙයි.
ගෙඹි කකුල් ප්‍රංශයේ ප්‍රණීත ආහාරයකි. අශ්ව මස් නැගෙනහිර යුරෝපයේ මූලික ආහාරයකි. මේ දෙවර්ගයම බ්‍රිතාන්‍යය පිළිකුලෙන් ප්‍රතික්ෂේපකරයි.
එනමුත් පසුගියදා එංගලන්තයේ ප්‍රධානපෙළේ සුපිරි වෙළඳසල් කාලයක් තිස්සේ අලෙවි කළ සීතකළ ආහාර වර්ග කිහිපයකම ගව මස් වෙනුවට අශ්ව මස් යොදා ඇතිබව හෙළි විය.
රටපුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම ප්‍රවෘත්තිය සමග දස ලක්ෂ ගණනක් වටිනා ආහාර කුණු බක්කියට දැමීමට ඒවා ගබඩාකරගෙන සිටි වෙළඳසැල් හිමියන්ට සිදුවිය.
තොගවශයෙන් මෙම මස් ගෙන්වා ඇත්තේ නැගෙනහිර යුරෝපයේ පෝලන්තය,රුමේනියාව සහ දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය වැනි රටවල් වලිනි.
අශ්වමස් ගවමස් ලෙස නම් කර මෙම මස් වංචාව සිදුකර ඇත්තේ එංගලන්තයේ හෝ ප්‍රංශයේ ආහාර නිෂ්පාදනාගාරවලදී නොව එම මස් සැපයූ සමාගම් වලින් බවද සොයාගැනීමට හැකිවී ඇත.
ගවමස් යොදා නිෂ්පාදිත බවට නම්කර තිබු "ලසානියා" සහ " හැම්බර්ගර්" වර්ගවල ඇත්තවශයෙන්ම තිබුණේ සියයට සියයක්ම අශ්ව මස් බව මේ සම්බන්ධයෙන් සිදුකළ රසායනාගාර පරීක්ෂණවලින් හෙළිවිය.
අශ්වමස් කෑම පිළිකුල් කරනා බ්‍රිතාන්‍යයන්ට තරුපෙනුණේ මෙම වාර්තා එළිදැක්වූ පසුවය. මස් කෑම සෞඛ්‍යයට හිතකර නොවනබවට විශාල මහජන මතයක් ගොඩනැගීමටද මෙම සිද්ධිය මුල් විය.
අශ්ව මස්වලට තක්කාලි සෝස් එක්කිරීමෙන් මස්වලට කළු පැහැක් ද, කුළු බඩු හා කොල එකතු කිරීමෙන් අශ්ව මස් රසය ඉවත් වී ගව මස් රසය ලැබෙන බව කියති.