සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වේ


ඊඒපි සමුහ  ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය මිට සුළු වේලාවකට  පෙර  අභාවප්ප්‍රාත වුවාය. මිය යනවිට ඇය 76 වැනි වියේ පසුවූ අතර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියාය.

1939 වසරේ ජූලි 5 වැනිදා මීගොඩදී උපත ලැබූ සෝමා එදිරිසිංහ දේශබන්ධු, දේශශක්ති යන ගෞරව නාමද ලබා සිටියාය. ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මීගොඩ රජයේ පාසලෙනි.

ශ්‍රි ලංකා ව්‍යාපාරික ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමිකරගත් ඇය ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාව  ඇතුළු ව්‍යාපාර රැසකට  නායකත්වය ලබා දුන්නාය.

සිය සැමියා වූ ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ අභාවයෙන් පසුව ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාරික කටයුතු මෙන්ම සමාජ සේවා කටයුතු වලද නිරත වූවාය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, ඊ.ටී.අයි. ෆිනෑන්ස්, සුව නෙත අක්ෂි රෝහල ආදී ආයතන රැසක හිමිකාරිත්වය හෙබවූ ඇය ජනසරණ, සිංහ සමාජ, පුනර්ජීව ඇතුළු සමාජ සේවා සංවිධාන රැසක නායකත්වය හෙබවූවාය. 

සෝමා එදිරිසිංහ මහත්මිය මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළ අතර ඇයගේ මූලිකත්වයෙන් ඊ.ඒ.පී සමාගම චිත්‍රපට 12 ක් නිෂ්පාදනය කළාය. ධවල පුෂ්පය, සෙයිලම, වීසිදැල, කිණිහිරියා මල්, රෝස වසන්තේ, සලෙලු වරම, ඉර මැදියම, අසනි වර්ෂා, හාර්ට් එෆ්එම්, සර් ලාස්ට් චාන්ස් වැනි චිත්‍රපට රැසක් ඇය නිෂ්පාදනය කළ අතර ඒ වෙනුවෙන් සරසවි සම්මාන 3ක්ද දිනා ගත්තාය.

වසර 2005 දී විවෘත විශ්ව විද්‍යාලය විසින් ඇය ආචාර්ය පදවියෙන් පුදනු ලැබුවාය. 

ජීවක, නාලක, අසංක යන පුතුන් තිදෙනාගේ හා දීපා දියණියගේ මව වූ ඇය 1974 වසරේදී සිංහ සමාජයේ සාමාජිකත්වය ලබාගනිමින් සමාජ සේවා කටයුතු ඇරඹුවාය. වසර කිහිපයක්ම සිය සේවය වෙනුවෙන් සිංහාධිපතිනිය යන ගෞරව සම්මානයට පාත්‍රවූ සෝමා එදිරිසිංහ මහත්මිය දෙස් විදෙස් කීර්තියට පත් සමාජ සේවිකාවක හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිණිපෙත්තටම නැගි කාන්තාවක වූවාය.

සෝමා එදිරිසිංහ මහත්මියගේ දේහය අද පස්වරු 1 සිට 5 දක්වා බොරැල්ලේ සුලෙයිමන් ටෙරස් අංක 17 දරණ නිවසේ තැන්පත් කර තිබෙන බවත් කොළඹ කනත්තේදී පස්වරු 6ට ආදාහනය සිදුකරන බවත් පවුලේ ඥාතීහු කියති.