(සුජිත් හේවාජුලිගේ)
ආහාර මිල වැඩි කිරීමෙන් පසු පාර්ලිමේන්තු සේවකයන් පාර්ලිමේන්තුවෙන් ආහාර ගැනීම තවදුරටත් අඩු කර ඇතැයි වාර්තාවේ
පාර්ලිමේන්තු ප්‍රධාන ගොඩනැගිල්ලට ආහාර ද්‍රව්‍ය ගෙන ඒම ආරක්ෂක හේතු මත තහනම් හෙයින් බොහෝ පිරිස් කෑම ගෙදරින් ගෙනවිත් මහජන භෝජනාගාරයේ තබා දහවල් එහි සිට ආහාර ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයන්ගේ කෑම බිල රුපියල් 1000 සිට 2000 දක්වාද විධායක නිලධාරීන්ගේ කෑම බිල රුපියල් 1500සිට 3000 දක්වාද පසුගියදා වැඩි කෙරිණි.ඒ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී ගත් තීරණයක් අනුවය.
කෑම බිල වැඩි කිරීමෙන් පසු සේවකයෝ පිරිසක් පාර්ලිමේන්තුවෙන් කෑම නොගන්නා බවට පසුගියදා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දුන්හ. තමන්ටද පොලිසිය නිලධාරීන්ට දෙන මිලට කෑම දෙන ලෙස සමහරු ඉල්ලීම් කළහ. මේ සම්බන්ධයෙන් භෝජනාගාර අංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තු සේවකයන්ගේ කෑම බිල මෙසේ වැඩි කළද ආහාර වලට යන වියදම ඉන් සම්පූර්ණයෙන්ම ආවරණය නොවන බවයි.
මන්ත්‍රීවරුන්ට සහ සේවකයන්ට මෙතෙක් සැපයූ ආහාර වර්ග ආහාර වලට යන අධික වියදම හේතුවෙන් එම ආහාර සැලකිය යුතු ලෙස සීමා කර ඇතැයිද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිලද රුපියල් දෙදහසක් දක්වා මෑතකදී වැඩි කෙරිණ.