සේරුනුවර සෙරප්පු සිද්ධිය ගුරු සංගමය හෙළා දකියි


සපත්තු දෙකක් ගැනීමට මුදල් නැති සෙරුනුවර පාසැල් දැරියකගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලු බව කියන සිද්ධිය   හෙළා දකින බවත්, පාසල් සිසුනට දඬුවම් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශය විටින් විට නිකුත් කර ඇති චක්‍රලේඛ ගැන සැලකිලිමත් විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

මෙවැනි සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බවත්, සිසුන් හා ගනුදෙනු කිරීමේ දී ගුරුවරුන් කටයුතු කළ ආකාරය ගැනත්, විවිටන් විට නිකුත් වන නව චක්‍රලේඛ ගැනත් ගුරුවරුන් දැනුම්වත් කළ යුතු බවත්, ඊට නිසි වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යංශයට නැති බවත් කියන ස්ටාලින් මහතා යමක් සිදුවූ පසු ඊට ප්‍රතිකර්ම සොයානවා වෙනුවට ස්ථිර වැඩපිළිවෙළක් ඇති කළ යුතු බවත් පවසයි.

පාසල්වල කාලසටහන් නැති ගුරුවරුන් ශිෂ්‍ය උපදේශනයට යොමු කරනවා වෙනුවට නිසි සුදුසුකම් හා මනා පුහුණුවක් ඇති ගුරුවරුන් ශිෂ්‍ය උපදේශනයට යොමු කළ යුතු බව ද ඔහු කියයි.