කොටදෙනියාවේ සේයා සදෙව්මි බක්මීදෙණිය දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සමන් ජයලත්ට එරෙහි නඩුව ජනවාරි 25 වැනි දා සිට අඛණ්ඩව විභාග කිරීමට මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (13) නියෝග කළාය.
සාක්කිකරුවන් 30 දෙනාට සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරිය ලේඛකාධිකාරීට නියෝග කළාය.
2015 සැප්තැම්බර 12 වැනි දා සේයා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් සැකපිට කොටදෙනියාව පොලිසිය විසින් පාසල් සිසුවකු සහ එක්දරු පියකු ද, සමන් ජයලත්ගේ සහෝදරයා ද අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයෙන් ඔවුහු නිදොස් කොට මුදා හරිනු ලැබූහ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන් පසු අත්අඩංගුවට ගත් සමන් ජයලත්ගේ ඩී එන් ඒ හා සේයාගේ සිරුරෙන් සොයා ගත් ආගන්තුක ජෛවීය කොටස්වල ඩීඑන්ඒ ගැලපෙන බව ජින්ටෙක් ආයතනය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතාට දැන්වීය.
ඒ අනුව නීතිපතිවරයා සමන් ජයලත්ට එරෙහිව මීගමු මහ අධිකරණයේ නඩු පැවරීය.

