(අංජුල මහික වීරරත්න)
2021 මහ කන්නයේ දී මෙරට බඩ ඉරිඟු වගාවට බලපෑ සේනා දළඹු වගා හානිය හා වී වගාවට සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තා වූ කරුණු පරීක්ෂා කර බැලීමෙන් අනතූරුව එම වගා හානි සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 657ක් ගොවීන්ට ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව 2021 යල කන්නයේ ගොවීන් පිරිසකට ද සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීම ත්‍රිකුණාමලයෙන් ආරම්භ කෙරුණු බවද එහි දී ගොවීන් 13 දෙනකුට රුපියල් 80,000 බැගින් වන්දි මුදල් ප්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුවූ බව අමාත්‍යාංශය කියයි.
2021 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 ක ගොවීන් 31,613කට වගා හානි සිදු වී තිබු අතර වගා කරන ලද ඉඩම් අක්කර 42,934ක් වගා හානි සිදු වූ බව තහවුරු විය. එම වගා හානි සඳහා අනුමත කරන ලද මුදල රුපියල් මිලියන 657කි. එම සම්පූර්ණ මුදලම මේ වනවිට ගොවි ජනතාවට ගෙවා අවසන් කරන ලද බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී . වීරසේකර මහතා සඳහන් කළේය.

