සෙබළකුගේ ගිනි අවියක් සොරගෙන යයි


( ශාන්ත කුලරත්න සහ කේ බුද්ධික කුමාරසිරි)

පනාගොඩ යුධ හමුදා කඳවුරට ආසන්න පිටිපන මුර කුටියේ රාජකාරියෙහි නිරතව සිටි සෙබලකු අත තිබූ ටී -56 ගිනි අවියක්  උණ්ඩ 30 බැගින් පිරවූ මැගසින් හතරක් යුධ හමුදා මේජර්වරයකුට සමාන ඇදුමකින් සැරසී පැමිණි පුද්ගලයකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි  හෝමාගම පොලිසිය පවසයි.

මත්තේගොඩ ඉංජිනේරු බළකා කදවුරේ සිට රාජකාරි කටයුතු සදහා කැදවා තිබූ සෙබළකු ශ්‍රි ලංකා යුධ හමුදා බටහිර මූලස්ථානයේ පිටිපන මුර කුටියෙහි රාජකාරි කරමින් සිටින අතරතුර එහි පැමිණි යුද හමුදා මේජර් වර⁣යකුට සමාන ඇදුමකින් සැරසී සිටි අයකු සැරයන් වරයකු පිළිබදව අදාල සෙබලාගෙන් විමසා ඇත.

පසුව අදාල සැරයන්වරයාට එම ස්ථානයේ සිටම දුරකතන ඇමතුමක් ද ලබා දී ඇති එම සැකකරු එහි රාජකාරි කටයුතු කරමින් අදාල සෙබලාට රැපියල් දෙසීයක් ලබාදී බුලත් විටක් සහ දුම්වැටියක් රැගෙන එන ලෙස පවසා ඇති බවත් ගිනි අවිය සහ මැගසින් එම ස්ථානයේ තබා යන ලෙස නියෝග කර ඇති බවද සෙබලා විසින් ලබා දුන් කටඋත්තයෙහි සදහන් වන බවද එම පැමිණිල්ලෙහි සදහන් වේ.

මේ සම්බන්ධයෙන් යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් හෝමාගම පොලිසිය  පරීක්ෂණ කටයුතු ආරම්භ කල බවත් හෝමාගම පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.