(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීන්ට අදාළ කරුණු කිහිපයක් සහ ආයුර්වේද සේවාව පුළුල් කිරීම මෙන් ම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.
සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු රැසකට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතූළු නිලධාරීන් කටයුතු කරනු ලැබීය.
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ නෛතික පිළිගැනීම, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය අයිතින්, බඳවා ගැනීම්, ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වගකීම, වගවීම හා කැපවීම, ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල්වල ක්‍රියාකාරීත්වය, රැකියා විරහිත වෛද්‍යවරුන්ගේ ගැටළු, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සේවාව, පැය 6 සේවා මුර ක්‍රමය, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාල, කාර්ය මණ්ඩල හා උපකරණ, සංවර්ධන ව්‍යාපෘති, ඒකාබද්ධ ප්‍රතිකාර සේවාවක අවශ්‍යතාව, ආයුර්වේද සෞඛ්‍ය ප්‍රතිපත්ති, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, උසස් තනතුරු සඳහා පත් කිරීම්, පරිපාලන තනතුරු පත්වීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරුණි.
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ අමතර සේවා දීමනාව සඳහා මසකට පැය 60 ක් එක අයකුට වන සේ දැනට සේවයේ යෙදෙන හා බඳවා ගැනීමට නියමිත වෛද්‍යවරුන් සඳහා ලබාදෙන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජිතයින් කළ ඉල්ලීම අනුව අවම වශයෙන් පැය 40 ක ප්‍රමාණයක් ගෙවීම් කටයුතු සිදු කිරීමට මෙහි දී තීරණය වු අතර, එම තීරණය 2026 අයවැය යෝජනා වලට ඇතුළත් කොට 2026 වර්ෂයේ ජනවාරි මස සිට ගෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට ද තීරණය විය.
සිමාවාසික වෛද්‍ය පුහුණුව විධිමත් කිරීම හා ප්‍රමාදය වැලැක්වීම, බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ වෛද්‍ය ක්‍රමයක් ක්‍රමානුකූලව ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කිරීම හා නවීන උපකරණ සහ පහසුකම් ලබාදීම යන කරුණු පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.