සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්


(සුජිත් හේවාජුලිගේ )
සුරාබදු  ත්‍යාග අරමුදලේ  රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක්   එම  දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු  වෙනත් රැකියා ස්ථානයකට මාරු වී ගිය අවස්ථාවේදී රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

එම වාහනය දෙපාර්තමේන්තුවට  බාර දෙන ලෙස දැනුම්දී ඇතත් ඔහු තවමත් භාරදී නැතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ප්‍රධානියා මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක මුල් පුටුවකට  මාරු වී යාමෙන් පසු එම සුඛෝපභෝගී වාහනය වෙනුවට වෙනත් කුඩා වාහනයක් සුරාබදු දෙපාර්තමේන්තුවට ඒවා තිබෙන බව දැනගන්නට ඇත.

එම කුඩා වාහනය  පාවිච්චි නොකර දෙපාර්තමේන්තුවේ  ගාල්කර තිබෙන බව
නිලධාරීහු පවසති.

සුරාබදු  නිලධාරින්ගේ ත්‍යාග අරමුදලින් මිලදී ගත් එම වාහනය හිටපු ප්‍රධානියකු මෙසේ රැගෙන යාම ගැන සුරාබදු  නිලධාරීහු දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

මේ සම්බන්ධයෙන් අප කරුණු විමසීමට සුරා බදු මාධ්‍ය ප්‍රකාශක   නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා ඇමතීමට කිහිප වරක්ම උත්සාහ ගත්තද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්විය.