චන්ද්‍රසේන ගමගේ
සුරාබදු පනත යටතේ පොලීසිය විසින් ඉදිරිපත් කර විභාග කිරීම අත්හිටුවා තිබූ සුරා බදු නඩු කිහිපයක් අද (19) කැඳවූ තංගල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ලිලාන් වරුසවිතාන මහතා පොලීසියට සුරාබදු පනත යටතේ අධිකරණයේ නඩු පැවරීමට බාධාවක් නැති බව ප්‍රකාශ කළේය.
විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කළේ තංගල්ල පොලිස් වසමේ පහජ්ජාව ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබු මත්ද්‍රව්‍ය වැටලීම් නඩු 07 නැවත විභාගයට ගැනීමෙන් පසුව විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මඩුල්ලේ කරුණු ඉදිරිපත් කිරීම් වලට හා පැමිණිල්ල වෙනුවෙන් කරුනු ඉදිරිපත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුවය.
තංගල්ල පහජ්ජාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු වීරසිංහගේ ධර්මසේන යන අයට විරුද්ධව සුරාබදු ආඥා පනත යටතේ නඩු 6 ක් ද ඔහුගේ පුත්‍රයකු වන මංජුල සදරුවන් වීරසිංහට විරුද්ධව එක් සුරාබදු නඩුවක් ද තංගල්ල පොලීසිය විසින් ගොනු කර තිබිණි.
එවකට තංගල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු මහී විජේවීර මහතා යටතේ විභාග වූ මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජේ. අන්ද්‍රාහැන්නදි මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලේ තරකය වූයේ සුරාබදු පනත යටතේ පොලීසියට නඩු පැවරිය නොහැකි බවයි. කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩු 7 විභාග කිරීම අත්හිටුවා ඇත.
විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මඩුල්ලේ ප්‍රකාශිත කරුණු සළකා බැලු විනිසුරු ලිලාන් වරුසවිතන මහතා පැවසුවේ සුරාබදු පනත යටතේ අධිකරණයේ නඩු පැවරීමට හැකියාව ඇති බවයි.
ඒ අනුව විභාගය අත්හිටුවා තිබු සුරා බදු නඩු 7 ලබන දෙසැම්බර් 14 දිනත් ලබන ජනවාරි 25 දිනත් පෙබරවාරි 8 දිනත් විභාගයට ගන්නා බව විනිසුරුවරයා පැවසීය.
විත්ති පාර්ශවය වෙනුවෙන් නීතිඥ ජේ. අන්ද්‍රා හැන්නදි , සිරි අන්ද්‍රාහැන්නදි, රංජිත් ජයන්ත, රංජිත් ගුණසේකර, ඉන්ද්‍රානි සේනානායක, රංජන් විජේසිංහ, පී.යූ. වීරසිංහ නිශාන්ත පුංචිහේවා ඇතුව නීතිඥ මඩුල්ලක් පෙනී සිටියේය.