සුමන්තිරන් ඝාතන කුමන්ත්‍රණකරුවෝ තවදුරටත් රිමාන්ඩ්


දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ සැලසුම් සහගත උත්සහායක නිරත වූ බව කියන හිටපු කොටි සාමාජිකයින් පස් දෙනා ලබන පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඒ ආනන්දරාජා මහතා සඳුදා නියෝග කළේය.

මෙම සැලසුමට සම්බන්ධ  සැකකරුවන් සිව් දෙනෙකු කලින්ම අත්අඩංගුවට ගෙන  තිබුණු අතර  තවත් හිටපු කොටි සාමාජිකයෙකු ද අත්අඩංගුවට ගෙන සඳුදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ලුවීස් මරියනායගම් අජන්තන්, වේලායුධන් විජයකුමාර්, මුරුගයියා තවේන්ද්‍රන්, ඥානසේකර රාජ් මදන් සහ කාරාලසිංහම් කුලේන්ද්‍රන් සැකකරුවෝ එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ. මෙම සැකකරුවන් පූර්ණ ආරක්ෂාවක් යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රදවන ලෙසටද නියෝග කැරිණි.