සුධීර හිරු සවාරියේ පෙරමුණ ගනී


හිරු පාපැදි සවාරියේ පළමු අදියර ජය ගනිමින්, සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග සමත්විය. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන සමන්ත ලක්මාල්ටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘සී’ කණ්ඩායම නියෝජනය කරන චරිත් ප‍්‍රනාන්දුටත් හිමිවිය.

පාපැදි තරගකරුවන් 150 කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම තරගයේ පළමු අදියර අද (05 වැනිදා) උදෑසන 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ වී ගාලූ පාර ඔස්සේ දෙහිවල, මොරටුව, පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර, පැල්මඩුල්ල හරහා පැමිණ බලංගොඩ ප‍්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිටින් අවසන් කෙරිණ.

පළමු අදියර නිමාවන විට කෙටි දුරක් වේගයෙන් පැද යන්නාට (ස්ප‍්‍රින්ට් ශූරයාට) හිමි ශූරතාව දිනාගැනීම සඳහා දෙහිවල - ගල්කිස්ස නගරසභා කණ්ඩායම නියෝජනය කරන ජිතේන්ද්‍ර ගමගේ ලකුණු 8 ක් ලබාගෙන ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහේෂ් පුෂ්පකුමාර ලකුණු 2 බැගින් ලබාගෙන එහි දෙවැනි ස්ථානයේ පසුවූහ.

කෙසේ වෙතත් සුධීර නිලංග, දක්ෂතම කඳු නගින්නාට හිමිවන ශූරතාව සඳහාද ලකුණු 18 ක් ලබාගෙන පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් ලකුණු 8 ක් ලබාගෙන එහි දෙවැනි ස්ථානයේ රැදී සිටී.

මෙම තරගයේ දෙවැනි අදියර හෙට (06 වැනිදා) බලංගොඩ බස්නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ වී පැල්මඩුල්ල, රත්නපුර, ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, යක්කල, නිට්ටඹුව, අත්තනගල්ල හරහා පැමිණ කිරිඳිවැල ලංකා සතොස ඉදිරිපිටින් අවසන් වීමට නියමිතය.