සුදුසුකම් පස්සා දොරෙන් පනී


වෙන්නපුප්ව පාසලක වැඩබලන විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ ගුරු සේවයේ 3-1 ශ්‍රේණියේ උප ගුරුවරයකුට නීත්‍යනුකූල නොවන ලෙස විදුහල්පති තනතුර සඳහා පත්වීම් ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (02) පැමිණිලි කළේය.

අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 2011/ඊඩී/ ඊ/14  අනුව වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කළේ 2010.12.31 දිනට වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් විදුහල්පති තනතුරක රාජකාරි ආවරණය කර තිබෙන පිරිස් බවත්,  මෙම උප ගුරුවරයා වැඩ බලන විදුහල්පතිවරයකු ලෙස පත් කර ඇත්තේ ද 2010.09.30 බවත්, 2010.12.31 වැනි දිනට මේ උපගුරුවරයා පාසලේ වැඩ ආවරණය කර ඇත්තේ මාස කිහිපයක් පමණක් බවත් එසේ තිබියදී ඔහුට විදුහල්පති පත්වීම් ලිපියක් ලබා දීම නීති විරෝධී බත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.

කැබිනට් මණ්ඩල තීරණය අනුව 2013.05.07 දිනැති ඊඩී/04/60/01/18 අංකයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ හා අතිරේක ලේකම්වරයකුගේ අත්සනින් 2010.12.31 වැනි දිනට වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් විදුහල්පති තනතුරුවල රාජකාරි ආවරණය කළ උප ගුරුවරුන්ට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2-11 ශ්‍රේණියට පත් කර පත්වීම් ලිපි දී ඇති බවත්, එම පිළිවෙතට පිටින් යමින් මේ විදුහල්පතිවරයාට ද පත්වීම් ලිපියක් ලබා දී ඇති බවත්, එය සම්පූර්ණ නීති විරෝධී පත්වීමක් බවත්, මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කොට එම ව්‍යාජ පත්වීම් ලිපිය අහෝසි කොට පත්වීම් ලබාදීම පිළිබඳ කටයුතු  කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවන මෙවැනි දූෂිත ක්‍රියාවලින් නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ පිටපතක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාටද යොමු කර තිබේ.